Monday, October 29, 2012

පමා වූ ලිපිය..

 

         ඕං රීං කට්ටු කට්ටු
       වර වර ඒස්වා...හ්..
       ගූගල් හේ යාහූ හේ මෙරේ ‍ප්‍රොෆයිල් හේ
       වරෝ වරෝ...
       ආ....

                             
                               "අලුත් බ්ලොග් එකක්.."
                               "ෂා ඔයත් දැන් අලුත් විදියෙ බ්ලොග් කාරියක්                                   වෙලා.."
                               "ජයම වේවා.."
                               "අෆ්ෆට සිරි අන්න @$$!*&$@ තදැන්                                      
බ්ලොග් ලියන්න පටන් අරන්.."
 
මමත් ඕවා අහ ගනිච්චි. (සමා වෙන්ඩ අන්තිම වාක්‍යය නම් කනටම නොවැටිච්චි. ඒත් තැනක කියන්ඩ ඇති කියලා හිතිච්චි.)
                  

                                  බ්ලොග් ගැන මෙලෝම දෙයක් නොදැන හිටිය දවසක "බ්ලොග් ලියන්න අදහසක් නැද්ද?" කියලා  එක පාරටම යාළුවෙක් අහපි. මමත් ගනන් ගත්තෙ නෑ. මොකෝ මං බ්ලොග් කියන වච‍නෙ අහලවත් තිබුන යෑ. ඒ අහපු ප්‍රශ්නෙ මොකක්වත් විහිළුවක්වත් ද කියලා හිතුණෙ මමත් කට පියං ඉන්න බැරුවට ඊට කලින් විහිළුවක් කරපු හන්ද ද කොහෙද. (හරියටම සුවර් නෑ හොදේ ඒක). 

 
                                  ටික දවසක් ගත වෙච්චි. බ්ලොග් ගැනත් අමතකම වෙච්චි. ඕං දවසක් ආයෙම තවත් යාළුවෙක් කියපි  "උඹ කාලෙ කන් නැතුව බ්ලොග් එකක්වත් කරපියකො" කියලා. ඒ යාළුව ටිකක් සැරටම
කිව්වෙ නැතෑ ඒක. අඩේ මගෙත් ඔලුවට ආවා කලිනුත් බ්ලොග් කතාවක් කවුදෝ කියපි නේද කියලා. මමත් දුර බනු‍ව ටිකක් විතර ඉක්මනට කට් කරලා (එහෙම නොකලා නම් මං කන් දෙක පුරවලා දේශනයක් අහ ගන්නවා මගෙ රචනා ‍ශෛලිය ගැනයි ගහන්න පාරමී පුරන තවමත් නොගහපු පොත ගැනයි) කල්පනාවට වැටිච්චි. 


                                   මුලින් කියපු තැනැත්තා තාක්ෂණ වේදයේ උපාධි ධාරියෙකුට සම කළ හැකි නිසාත් දෙවන තැනැත්තාට මේ දිනවල අධික වැඩ ප්‍රමාණයක් තිබුන නිසාත් දෙවනියට සදහන් කළ යාළුවට වාත නොවී පළමු යාළුවගෙන්ම බ්ලොගේ විස්තර ඇහැව්වා. ඒ පාර බ්ලොග් කීපෙක විස්තර එවපි. ඒ බ්ලොගවලට මගෙත් හිත වැටිච්චි... ඊට පස්සෙ යාළුවට මාරම වාතයක් වෙච්චි. (අනේ ඒකට නම් සමා වෙන්ඩ හොදේ) මොකෝ මං බ්ලොග් ගැන තියා ජාලය ගැනවත් මෙලෝ හසරක් දැනන් හිටි එකක් යැ. (දැන් නම් ඩිංගක් දන්නවා ඔන්න)

                          
      බ්ලොගක් හදන හැටි මුල ම ඉදලා කියලා දෙන්න යාළුවාට සිද්ධ වුණා. නින්දත් කඩා ගෙන දුර බනුව හරහා මගෙ බ්ලොග හදන්න උදවු කළාට ගොඩක්ම පින්... ආ මොකක්ද ඇහුවෙ? ඒ කවුද කියලා ද? ඔයා එයාව හොදට අදුරන‍වා..තාමත් කවුද මේ කියලා සුවර් නැත්නම් මෙතනින් ගිහිල්ලාම බලන්නකො..  http://magepissulokaya.blogspot.com/


                                   අර මං දෙවනියට කිවුව යාළුවා එයා ගැනත් කියන්නම ඕනි. වචන 10ක් කතා කළොත් 9කින්ම මට සද්දෙ දානවා. නරකකට නෙවෙයි යාළු කමටම තමයි. කියන්නෙත් ඇත්ත හන්දා කට වහ ගෙන ඉන්න එකම තමයි හොද. ධනූ තෑන්ක්ස් හොදේ...  
මෙන්න මෙතනින් ගිහින් එයා‍වත් කියවන්න. http://ahikuntakaya.blogspot.com/

 
                                   මේ නම් දෙකත් එක්කම කියවෙන තවත් නමක් තියෙනවා. "ලියපන්කො බ්ලොගග් හොද කමෙන්ටුවක් දාන්න" කියලා කිවුවට මලිතෝ තාම නම් ඒ කමෙන්ටුව ලැබුණෙ නෑ ඔන්න මට.. මොක වුණත්ගොඩක්ම ස්තූතියි ඔයාටත් නොමියෙන මිතු දම වෙනුවෙන්...

                      ආ...තව දෙයක් කියන්න තියෙන‍වා ඕං..ඒ තමයි ලබන ආත්මෙ සහෝදරයො වෙලා එකම මවු කුසක ඉපදෙන්න ඉන්න 3න් දෙනා. අඩේ මතක තියා ගන්ඩවා හොදයි ඔතන‍ට තව සහෝදරියො
2න්නෙක් එන‍වා...කවුරුවත් නංගිලා මල්ලිලා වෙන්නත් කැමති නෑනෙ.. අපෙ අප්පේ එතකොට නිවුන්නුම 5 යි....


                          බ්ලොගේ හදපු දා ඉදලා කමෙන්ටුවක් දාන්න පෙරුම් පුරන සෂියෝ ගොඩක් ස්තූතියි ඔයාටත්..වෙන මොකටවත් නෙවෙයි හැම දේකටම... බ්ලොගේ ගැන මතක් කරන හැම වෙලේම අහවල්
ආයතනය නොසෑහෙන්න බැනුම් අහන හන්දා ත් එහෙව් ආයතනයක් අකාලෙ නටබුන් වෙලා යනවා බලන් ඉන්න බැරි හන්දාත් ආයෙම බ්ලොගය මතක් කරන් නෑ ඔන්න. පුළුවන් ද‍වසක කමෙන්ටු දාන්ඩකො...

 
                                        තවත් සිහිපත් කිරීමක් තියෙනවා...මාර කේස් එක කියන්නෙ මං අර මුලින්ම කියපු යාළුවටයි මෙයාටයි තියෙන්නෙ එකම නම..පටලවා ගන්ඩ එපා හොදේ දෙන්නව. ආණ්ඩුවේ Z මැල්ලුම අපිව මුණ ගස්සලා අමරණීය මිතු දමක් හැදෙවුවා. මගෙ බ්ලොගේ කියවලා ගොඩක් වටින විචාර එවනවාට ඔයාටත් සෑහෙන්න ස්තූතියි ඉසුරුවෝ... මට e-ලිපියකින් ලැබුණ මේ සුන්දර වචන කියවලාම එයාව අදුර ගන්ඩකෝ..(ඉසුරුවෝ සමා වෙන්ඩ ඕනා මේක දානව ට හොදේ)


" මම කවුද ළග ලියූ ලිපියට..,
----------------------------
පිහාටුවක් බිම වැටුනේ
හුළඟ තරහ උනු හන්දද,
ආයෙම අපි යාලු වෙලා
පාවෙන්නට හැකි නොවේද..

ඇළ දොල ගං ඉවුරු දිගේ
යා යුතු දුර මහ සයුරට,
අතරමගක මග වරදා
නොයනු පිණිස ගං දිය හට,
නොගැටි පාර කියනු කෙලෙස
ඉවුරට චුට්ටක් රිදුනට,
ගං දෙ ඉවුර දුටුවෙමි
අප මව් පියො දෙන්නා විලසට..

හඳත් පායලා ඇති දවසක
විය ගහ එක්වීලා,
විය සිදුරෙන් අහස බලන්නට
හැදුවලු කැස්බෑවා,
නමුත් එසැන උගෙ ආයුෂ
ගෙවුනලු, කරුමෙක සේයා!!
වගේ කතාවක් දිය බුබුලෙන්
මට මතකෙට අවා..

වැලි කැටයක් මුතු ඇටයක්
කල හැටියට මුතු බෙල්ලා,
එක පැතුමක් එක සිතුමක්
දැකගන්නට සැබෑ වෙලා,
කෑ වලියක් කල හරියක්
විඳ ගන්නට බැරි වීලා,
වැලි කැටයක් මුතු ඇටයක්
වන විට දිවි අහිමි වෙලා..

ඉරි තලා ගිය පැතුම් අතරෙක
ජීවිතය වේලෙන්නට නොදී
හිසට ටකරන් පයට ගොම මැටි අතුරා
හිනැහෙන්නට වෙර දරන
අපේම මිනිසුන්ට
නුඹේ පන්හිඳ
සවියක් වේවා!!"

                                 කස්ටියක් ගැන විතරක් කියනවා කියන්නෙ තව කස්ටියක්ව අමනාප කර ගැනීමක් කියලා මමත් අහලා තියෙනවා..ඒ උනාට මගෙ යාළුවො එහෙම නෑ.. කසුන් (අපිවත් මුණ ගැස්සුවෙ Z මැල්ලුම), දුලෝ, සේනෝ (අහ් සමාවෙන්ඩ ඕනා ඒකට නම්), රමිතයෝ, ප්‍රමෝ, ශානියෝ... මගෙ බ්ලොගේට දීර්ඝායුෂ පතලා මං එක්ක කිවුවට වඩා වැඩි දෙයක් අනෙක් කස්ටිය එක්ක කිවුවා නේද.? මට ආරංචියි ආ.... තෑන්ක්ස් හොදේ... ඔයාලා ගැනත් දිගට ලියන්ඩ ගියොත් බ්ලොගේ හමාර කරන්ඩ වෙන් නෑ. ඒ හන්දා කස්ටිය ගැනම මතුවට ලිපියක් ලියන බලාපොරොත්තුවෙන් මේ පෝස්ටුව මතු සම්බන්ධ කරන්නම්..

                                        "ඔයාගෙ පෝස්ටු දිග වැඩි" කියලා මං ලියන එකක්වත් කියවන් නැති අමාරුවෙන් කියෙවුවත් තේරුන් නෑ කියන මලේ දවසක ඔයාට අහන් ඉන්ඩ මං බ්ලොගේම කියවන්නම්කො. කියවන්න කම්මැලියි, තේරෙන්නෙ නෑ කියලා කිවුවත් හැම දේටම "එළ" කියලා වචනවලට වඩා ඇස් දෙක පාවිච්චි කරලා කියන මලේ ඔයාටත් තෑන්ක්ස් ආ..(මං දන්නවා ඔයා මේකත් කියවන්නෙ නම් නෑ කියලා)..
                               මං ලියන ඒවා හැමදාමත් මුලින්ම කියවන අප්පච්චි, අම්මේ, අක්කේ ගොඩක් ස්තූතියි හැම දේකටම. මට ඉතින් මගෙ හිතයි අතයි හම්බුණේ ඔයාලාගෙන් හන්දා ආයෙ කියන්ඩ දෙයක් නෑ ඒ ගැන..

      මගේ වචනවලට දිරි දෙන හෙෂාන් මස්සිනේ තෑන්ක්ස් ආ...          

 බ්ලොගේ කියවාපු, කියෙවුවෙ නැතත් මට සුබ පතාපු එකී මෙකී නොකී හැමෝටම සෑහෙන්ඩ ස්තූතියි.. 
   
 ජයම වේවා..!

 මං

 ඔයාලා හැමෝටම ආදරේ කරන,

                සාජා.                       

                                       
  පසු සටහන -   

              (ලියන්න ඕනි කියලා  හැමදාම හිත හිත හිටිය වචන ටික දැන් තමයි ලියවුනේ.කියන්න තියෙන දේ ලැබුන අවස්ථාවෙදි කල් යවන් නැතුව කියන එකනෙ හොද. මොකෝ මේ ලැබුණ අන්තිම අවස්ථාවද දන්නෙත් නෑනෙ. එහෙමයි කියලා අපි මේ ලෝකෙ දාලා යන්නෙත් නැති වෙච්චි ඕං..


අ‍ඩේ ඕං තරහ වෙන්ඩ නම් එපා දැනුයි මතක් වුණේ කියලා. ලියන්න ඕනි හොදම විදිය මොකක්ද කියලා හිත හිත දවස් ඇරියත් ක්‍රමයක් ඔලුවට ආවෙ නැති හන්දා මෙහෙම ම ලියවෙච්චි හොදේ..)

Wednesday, October 24, 2012

ඉපදීම



කටු පොකුරු මල් කරන
මල් පොකුරු පර කරන
වියළි පෙති පස් කරන
එපස් යළි මල් කරන

මගේ සිත මට නොදෙන
හිතේ විස කටු ඇනෙන
ආයෙමත් හිත හැදෙන
ලෝකයක් මුණ ගැසින..

Friday, October 19, 2012

නමක් නැති හිතක්..2

(නමක් නැති හිතක් 1 හා සබැ‍ඳේ)

                     ................වෙරළට වෙලා රැයක් පුරා ඉන්න කොටයි දැණුනෙ එතන තිබුණ පාළු ගතිය. දවල් දවසෙයි හවස් වරුවෙයි වැල්ලෙ ගෑවිලා තිබුණ සුදු පාට, තැඹිලි පාට හොරු ගෙනිහින් ‍වගේ. දැන් තියෙන්නෙ මූසල කමට පිටාර දාන කළු පාටත් එක්ක හා වුණ කහ පාටක්. හරි හමන් ගහකට වැලකට පණ දෙන්නවත් ඒ බිමට හයියක් නෑ. තෙත බරියං වෙලා ඕජස් ගලන ඇහැටවත් පේන්නෙ නැති තරම් ඇබිලිත්තන් වැලි කැට ගොන්නක් විතරයි තියෙන්නෙ. වතුර ඇවිත් වෙරළෙ වදින්නෙ බෙල්ල මිරිකන කොට මර ලතෝනි දෙනවා ‍වගේ. කකුල් දෙක වැල්ලෙන් යටට ඇදෙන්නෙ රාක්සයෙක් කකුලෙන් අල්ලලා පොළව මැද්දට ඇඳගෙන යන්න හදනවා වගෙයි.
                                                                             මොකක්දෝ අඩුවක් දැනුනා.....


                                                                                                   වෙන මොකවත් නෙවෙයි දවස පුරාම වෙරළෙ තිබුණ හිනා හඬවල්... කිරි කැටි දරුවෙක් මුහුද දැකලා අත්පුඩි තලන සද්දෙ... ළපටියෙක් බිමට බැහැලා අප්පච්චිගෙ අතේ එල්ලිලා මුහුද අද්දරට වෙලා හුරතල් වෙන අතරෙ හදිස්සියෙම ආපු රැල්ලකට තෙමිලා අම්මගෙ මූණ බලලා සීරුවට හිනා වෙන සද්දෙ... පෙම්වතුන්, පෙම්වතියන් වෙරළ අද්දර ගල් බැම්මක වාඩි වෙලා එකිනෙකාට විතරක් ඇහෙන තරමට හෙමින් මුමුණන සද්දෙ... වෙරළ යි මුහුද යි ලස්සන කළේ ඒ හිනා හඬවල්.. වෙරළ පුරා කරක් ගහපු කන් දෙක යි, ඇස් දෙක යි ඒ හඬවල් උරා ගෙන ඔළුව ඇතුලෙ දෝංකාර දෙවනවා වගේ.
                                                                හදවත ඒ හිනා හඬවලට පෙම් බඳින්න පටන් ගත්තා. දේදුන්නෙ පාට හත අරන් සායම් කවපු මිනිස්සුන්ගෙ ලෝකෙ විඳින්න පටන් ගත්තා. සොබා ලෝකෙ ලස්සන වුණේ හිනා වෙන, කතා කරන ඇස් හන්දා. මුහුදෙ ඉමක් නොපෙනෙන ගැඹුරයි ඒ ගැඹුර මතින් දෝරෙ ගලන සුන්දරත්‍වයයි මනුස්ස හදවත්වල අගේට ‍කොටලා තියෙනවා. මූසල ගතියක්වත් පාළු ගතියක්වත් එතන තිබුණෙ නැහැ.
                                                                                     සමාවෙලා මම මුලින් ලියපු වැකියක් නිවැරදි කරන්න ඉඩ දෙන්න. පුංචි කාලෙ ආදරේ කළේ මුහුදටවත් රැල්ල පාගන්නවත් නෙවයි. අම්මගෙ අතේ එල්ලිලා මුහුද ගාවට යන කොට දැනුන විශ්වාසෙට යි.., වැල්ලෙ ඇවිදින කොට එරුණත්, වැටුණත් ආයෙම නැඟිටින්න දිරි දෙන්න ආදරණීය ම දෑතක් ඉස්සරහට එනවා කියලා දකින කොට දැනුන හැඟීමට යි.., හිනා මූණුවලින් පෙඟිලා තෙත් වුණ හුළඟටයි.., මුහුදෙයි වෙරළෙයි ඇස් මානෙ පේන නොපෙනෙන හැම දේකමයි හිනාව තවරන මිනිස්සුන්ට යි.., මුහුදු රැල්ල වෙරළෙ හැපෙන සද්දෙට කලවම් වුණු දෝරෙ ගලන සතුටට යි.......
                                













Thursday, October 18, 2012

නමක් නැති හිතක්...1

                                    මං ඉන්නෙ මහ මුහුද මැද්දෙ, තනියම. බලන බලන හැම පැත්තකම නිල්ම නිල් පාටට වතුර. උඩ බැලුවම අහස. ඒකත් නිල් පාට යි. මං ආසම පාටත් නිල්. මුහුදු ලිහිණියෝ අහසට වෙලා මං වටේටම කැරකෙන්නෙ මාත් එක්ක කතා කරන්න ආසාවෙ වගෙයි.මාලු පැටවු වතුරෙන් උඩට ඔලුව දාලා බලලා ආයෙම ලැජ්ජාවෙන් මූණ වහ ගන්නවා. වතුර රැළි හීන් සීරුවට ඔරු කදේ හැප්පෙන්නෙ මාව පිළිගන්නවා කියන්න වගෙයි.
                                     මුහුද මැද්දටම වෙලා ජීවත් වෙන්න හිතුවාමයි දැණුනෙ තනිකම. එක මාලුවෙකුටවත් ලිහිණියෙකුටවත් මාත් එක්ක කතා කරන්න බෑ. උන් හැමෝම හතර වටේ කැරකි කැරකි මෝඩ ආතල් ගන්නවා විතරයි. බලන බලන පැත්තෙ තියෙන්නෙ පට්ටම පට්ට මූසල කමක්. කාලකන්නි කමක් එක්ක එකතු වෙලා බඩ පිනුම් ගහන ලුණු වතුර ගොන්නක්. වතුර රැළි පොඩ්ඩක් උඩට මතු වෙලා ආයෙම යට ගිලෙන්නෙ මැරෙන්න ළං වෙලා හති අරිනවා වගෙයි.   
                                    මට මුහුද මැද්දට යන්න හිතුනෙ පුංචි කාලෙ ඉඳලම මුහුදට ආදරේ කරපු හන්දා. ඒ කාලෙ අම්මගෙ අතේ එල්ලිලා මුහුදු රැල්ලෙ දණ ගෑවා, බඩ ගෑවා, ඇති තරම් නැටුවා. කොච්චර දවස් ගත වුණත් මුහුදු රැල්ල පාගන්න තිබුන ආසාව නම් නැති වුණේම නෑ. මුහුද දිහා බලා ගෙන ඉන්න කො‍ට පුදුමත් හිතුණා මේ තරම් ලස්සන‍ට රැල්ල හැදෙන්නෙ කොහොමද කියලා. 
                                    ඒත් මුහුද මැද්දටම එබිලා බලපු කෙනාටයි තේරෙන්නෙ රැල්ල හදන්නෙ මුහුද නෙවෙයි වෙරළ කියලා. මූද මැද්දෙ රැල්ල නැහැ. අතරින් පතර රැල්ලක් දෙකක් මතු වුණත් ඒවයෙ පිරිලා තියෙන්නෙ වතුරවල අඳුරු පාටටත් එහා ගිය මූසල කමක්. එතන ඉඳලා මං මුහුදට නෙවෙයි වෙරළට පෙම් බඳින්න පටන් ගත්තා.
                                    වෙරළෙ පාට.... හීන් වැල්ල..... ආනන්ද ජනක ආස්වාදයක් මවන්නේ. වතුරට තල්ලු වෙවී වැලි කැට ඇවිල්ලා වෙරළට හේත්තු වෙන්නෙ මාව දකින්න ආසාවෙ වගෙයි. කිරි පාටට බබළන සිනිඳු වැල්ල පාගන්න ලෝබ හිතෙන තරමට සුන්දරයි. සිප්පි කටු වැල්ලෙන් උඩට මතු වෙන්නෙ දෝතට පනින්න හිතිලා වගේ. වැලි ගසලා බසලා කකුළු පැටියෙක් වටයක් කැරකුනේ නැටුමකට අර අඳින්න හිතා ගෙන....

(මතු සබැ‍‍ඳේ) 



                                   

Monday, October 15, 2012

‍කොකෙක්, නෙළුම් මලක් සහ තිත්ත පැටියෙක්...

නෙළුම් මලක් යට උන්න
තිත්ත පැටියෙක්ව දැකපු 
කොකෙක්
ඉවුරට ‍වෙලා ඉදගෙන කිවුවලු
"මෝඩ තිත්ත පැටියෝ 
උඹ කවදාවත් 
නෙළුම් ම‍ලක් දකින්නෙවත් 
සුවද අහන්නෙවත් 
නැති වෙයි" 
කියලා

හීන් හිනාවක් දමාපු 
තිත්ත පැටියා
නෙළුම් කොලේ යටි පැත්තේ
මෙන්න මෙහෙම ලියලා තිබ්බලු

                   "නුඹ හැමදාමත්   දකින්නෙ
                නෙළුම් මලක ලස්සන විතරයි
                ඒත්,
                ඒ නෙළුම් මල
                පූදින්න ගත්ත මහන්සිය
                දැක්කෙ මම විතරයි.

                මඩ ගොහොරුවකින්
                උඩට ඇවිත් මේ නෙළුම් දඩු
                මලක් උපද්දවන්න වුණ මහන්සිය
                දැක්ක මගේ හදවතේ ඇ‍දුන
                නෙළුම් මලේ 
                රූපයයි සුවදයි
                ඇත්ත නෙළුම් මලට වඩා
                දහස් ගුණේකින් ලස්සනයි"