Wednesday, November 28, 2012

දුවේ..


අතට හුරු වුණ තුවක්කුවකින්
වෙඩිල්ලක් තියලා
අහස ඉරිලා ඇබින්දක් - ඉන්
හද බිමට වැටිලා

පුංචි තරු කැට රැය පුරාවට
පිනි කදුළු හලලා
බයෙන් ඇඩුවලු දෙනෙත රතු කර
අම්මා නැහැ කියලා

මගෙ දුවේ නුඹ එළිය අරගෙන
රැයට සද වීලා
පායපන් මුළු අහස මත්තට
පුංචි තරු නලවා

තුවක්කුව හුරු අතට සෙනෙහෙන්
පන්හිදක් දීලා
කවක් ලියපන් එවුන් එක්කලා
ආදරේ තවරා..

Wednesday, November 14, 2012

"කදු ගණන් උස පොත් - කරන් වනපොත්
වැදුන සටනින් දිනුව වරදට
නියම වී ඇත
වසර සතරක 
බරපතල වැඩ - සහිත සිර ගෙය..."


නිල්ල නුදුටුව පුරවරේ
ගොඩනැගිලි අතරේ හිර වෙලා
විසි වසක් දුර කර තියන් ආ
හීන සේරම බොද ‍වෙලා

දින ගනන් මෙහෙයට එළඹිලා
දියවරෙන් කුස ගිනි සතපවා
අම්මගේ බත් කට සිහි කරන්
කැන්ටිමේ දොර ළග ගොළු වෙලා

කළු ගැහුන රළු - අකුරු උඩ
යෞවනේ සිහිනය ඉහිරිලා
හිසට වඩමන උපාධිය ළග
ජීවිතය ඈතට ඉගිලිලා

පපුව හැංගුණ බෝඩිමේ - සිර මැදිරියේ      
තනිවම නොදා
අනේ අම්මේ ඉන්න දෙන්නකො
නුඹේ සෙනෙහෙට ගුළි වෙලා..
                              

Sunday, November 11, 2012

පාපොච්චාරණය.

ස්වාමීනී සමාවන්න,
වරද මා අතය ;
පිටවන්නට පෙර ඔහු ශාප කළේ එබැවිනි.

 
වසරකට උඩ අතීතයකදි
හමු වුණා අප කොහෙද තැනකදි
එදින සිට මේ වසර ඇතුළත
දැනෙයි මා වැඩි මහලු වූ බව
වසර ගණනක් නුඹට වැඩියෙන

මගේ ජීවය ඉල්ලමින් නුඹ
කුඩා දරුවෙකු විලස සපැමිණ
දෙනෙත් නොතෙමා හැඩුව දිනයෙහි
              මහත් බලයෙන් පරිශ්‍රමයෙන්
              හිතේ කරුණා බලය මහිමෙන්
              මගේ හදවත පුද කළා මම -
              සොරා ගන්නට මගේ හදවත
              නොහැකි වූ ඒ මිනිස් රුව වෙත

              "මගේ හිත් මල දුන්නෙ මමම ය
               සොරා ගත්තා නොවේ නුඹ එය"

         *          *         *         *           *       *
නමුදු හිතවත, ස්නේහ වන්තය,
සිනහ මුහුණට බිනූ වදනට
යටින් දිවෙනා ගැහෙන හදවත
පැතුම් පුරනා සොදුරු සිහිනය
නුඹට හදුනා ගන්න බැරි විය...

නුඹේ අණසක පතුරුවන තැන
මටම මා නැති වෙන්න ගිය දින
කුමාරය නුඹ හලෙමි දිවියෙන
             (නුඹේ මුහුණට අකුරු තුනකින්
             දමා ගැසුමට තිබුණ චකිතය
             මිසෙක වෙන යම් දෙයක් නොව මා
             එතෙක් දිනයක් පමා කෙරුවේ)

             මටම මා නැති වෙන්න ගිය දින
             සිතට දිරි ගෙන බිනුවෙමිය මම
             "යන්න - සැනෙකින
              මගේ විජිතය අතැර සැනෙකින"

එසැන මා වෙත පතිත වූයේ
පැමිණි වදනයි නුඹේ මුවගට
ශාපයක වෙස් රැගෙන රිදවන
       "ජීවිතය තිට වැරදෙනා දින
         මතක් වේ මය මෙදින ආයෙම
         පසුතැවෙන්නට වේය සදහට"

දෙවන වරටද වරද නොකරමි
තදින් හදවත අගුලු ලෑවෙමි..

*       *       *       *       *      *      *

දකින දිනයක කොතැන හෝ යළි
දෙතොල් අග රැන්දුවද සිනහව
බිදී විසිරුන සිතක් අබියස
සානුකම්පිත වෙන්න නොහැකිය

නමුත් හිතවත, ‍ස්නේහ වන්තය,
තුති පුදන්නෙමි හිස නමා මම
පැමිණ නුඹ මෙහි ටික කලක් හිද
ශක්තිමත් බව මේ තරම් මම
මටම තහවුරු කරපු කරුණ ට...

Thursday, November 8, 2012

" රන් පිගාන ලෙස වටකුරු
  දිලිහි දිලිහි තියෙන අයුරු                                 
  හඳ හාමියෙ හඳ හාමියෙ

  - කිරිත් පැණිත් එපෝ එපෝ "

මතක ඇති දවසෙ ඉදලා
ගෙයි සන්තකයටම තිබුණෙ
එකම එක
පිගානයි...

නංගිටයි - මටයි - අම්මටයි.

ඒත් ඒ රත්තරං...

සින්ඩරෙල්ලාගෙ වසිලිස්සලාගෙ
කතා මැදින්
නංගිටයි මටයි කවන අතරෙ
අම්මටත්

කටක්... 
දෙකක්...

නංගිගෙ හිනාව යි
අම්මගෙ ආදරෙ යි
මගෙ කතා පෙට්ටිය යි

අපි තුන් දෙනා එකතු වෙන තැන
රත්තරං වුණේ
එහෙමයි..

කාලා නැතත් - කිරි පැණි
කියතෑකි
අපේ අම්මගෙ බත් කට
රහයි කියලා
ඊට වඩා

සබද...

විසල් අහස විසිරී හිද
රටා මවන තරු කැට මැද
දිලෙනා රන් තරුවක් වෙත
ඔබේ දෙ ඇස දිව යන සද -
සබද ඔබම ඔබ දැක ඇත

ගලා හැලෙන ඇල්ලක සිට
වැටෙනා එක දිය බිකට
කම්පා වන සඳ හද ස්වර
උතුරා යන සිතිවිලි මැද -
සබද ඔබට ඔබ හමු විය

තිමිර සිදින හිරු රැස් දැක
මල් පිබිදෙන වන මැද හිද
දස දහසක් සියොතුන් නැගි
ජීවනයේ ගී හඩ මැද -
ඔබේ ස්වරය සැගවී ඇත

ඉගැඹුරු මහ සයුර සමග                               
පවනැල්ලක් හාදව සිට
මවනා රැළි සරැළි අතර
මතුවන එක දිය රැල්ලක -
ඔබත් මමත් හමු වී ඇත
..

Saturday, November 3, 2012

නඩුව අවසන්ය ; චූදිතයා නිදහස්ය.

ගල් ගහලා මරාපියවු උඹේ හදවත ඉඩ දෙනවා නම්.


නීතිය     -   අණ කරමි,
                  චූදිතය
                  නැවත හසු නොවන ලෙස

                  මෙවන් වරදෙහි බැදෙන ගැහැනුන්ට.

පුරුෂයා  -   මගේ තනිකඩ ජීවිතේ දැක
                  උණු වෙලා මෙන් තිගේ හදවත
                  හෙමි හෙමින් තී ළං වුණා මට
                  මගේ දේපල සොරා ගන්නට
                  මගේ නම්බුව බිද දමන්නට -
                     වසල ගති ඇති හෙරක වාගෙම..
                  තිගේ දෙනෙතේ නුරා බැල්මේ 
                  කිඹුල් කදුලට අහු වුණා මම..

ස්ත්‍රිය      -  (නිහඩය)


සනුහරය -   පිටමන් කළ යුතුය තී
                  අවමන් කළ වරදට - සනුහරයට
                  නොවැටිය යුතුය තිගේ සෙවනැල්ලවත්
                  අපේ ගෙ මිදුලවලට
                  අපේ දරුවන්ගේ ලෝකයට
                  මකා දැමිය යුතුය
                  තී පිළිබද මතකය
                  අංශු මාත්‍රයක්වත් තිබෙන්නට නොදී

ස්ත්‍රිය      -   (නිහඩය)

ලෝකය -   නුඹේ වරිගේ අනික් උන් මෙන්
                  අයාලේ ගිය ගැහැනියයි නුඹ
                  අපේ දෙනෙතට හසු නොවන්නට
                  ඈත් කළ යුතු තී ව ලෝකෙන්
                  අසම්මතයට වහල් වූ නුඹ
                  අපිරිසිදු කත
                  අපේ ළමයින් හදන්නට බැහැ
                  තිගේ වැනි පරපුරක් හිටියොත්

ස්ත්‍රිය    -     (නිහඩය)

කළලය  -   වසර ගණනක් පෙරුම් පුරලයි
                  නුඹේ නිවහන සොයා ගත්තේ
                  අනේ අම්මේ ඉඩක් දෙනු මැන
                  හුස්ම ගන්නට නුඹේ තුරුලේ...

...............................,

හද බිමේ උතුරා ගලා ගිය
හැගීමට හිස නැමූ වරදින්
අයිතිකරුවෙක් නොමැති කළලෙක
බරක් හැදුනා නුඹෙ කුසේ

තිර වදන් නැති ලොවක් ඇතුලත
සම්මතය රජ කෙරූ පමණින
වැරැද්දක බර නුඹේ හිස මත
කෙලෙස පටවන්නද නගේ

මිනිස් හඩකට හඩන දෙනෙතක්
මටත් තිබුණා යෞවනේ..