Friday, January 25, 2013

පොඩි වුන්ගෙන් හෙන අපලයි....



අනංගයාට කරගන්නට වැඩක් නැතුව මේ දිනවල
කැරකෙනවාලු පොඩි වුන් ළග මල් දුනු හී වැහි අරගෙන

4ක් 5ක් දැනටත් ගොඩ දා               ලා          ය
බුකියෙත් හැම තැනම ආලය පෙර   ලා          ය
මං නැති දොහට මට ඌ කෙල කර   ලා          ය
පන්තියෙ හැම තැනම මොනවද කියලා          ය

          මලයෙක් නිසයි පෙර දුන්නේ හිනා වා
          අක්කෙක් නිසයි මූ දැම්මේ පනා  වා
          පොඩ්ඩෙක් නිසයි මා දුන්නේ සමා වා
          අඩේ - ඒ හන්ද ද මට ආයෙත් පනා  වා

වයසින් අඩු වුණත් වැඩ නම් අප්සෙට්           ය
ගේමට බැහැපු මූ යන පාටක් නැති                ය
පොඩි වුන් කියා දැන් නම් බලලා බැරි           ය
කෙලවෙන්නට වැඩක් දෙන්නම වෙනවා      ය





         *         *         *         *          *         *

පුංචි උන්ගෙ ලෝකෙට මං ආස කරන නිසා
ටිකකට උන් එක්ක ඉන්න 6 වසරට ගියා

පන්තිය දෙබෑ කළ පොඩ්ඩෙක් දුටුවෙමි       ය
සද්දය මොකද ඔය තරමට ඇසුවෙම්            ය
ඊළග තත්පරේ පිළිතුර ලැබුණේ                  ය
මං නැවතුණේ ගවු ගානක් උඩහින්              ය

මේ කට මගේ ගෙදරින් මට ආවා                 ය
අපෙ අක්කගේ කට මීටත් වැඩිවා                ය
කණ ගාවින්ම මූ බෙරිහන් දුන්නා                ය
පුංචි එකා මට තරවටු කෙරුවා                     ය





         *         *       *        *         *        *     

නිවාඩුවට මං ළගකදි අත්තම්මගෙ ගෙදර ගියා
පොඩි මාමාගෙ පුංචි කෙලිත් ඒ වෙලාවෙ එහෙ ආවා

වඩා ගන්න මට කරදර කෙරුවා                   ය
කෙල්ලව අරන් රවුමක් කැරකෙව්වා            ය
විසි කරනා බවට මම සැර දැම්මා                  ය
කෙල්ලට තද වෙලා එළියට දිව්වා                ය

මඩ ගෙන ඇවිත් ඇදුම පුරා ගෑවා                  ය
එක පිට එකට ගුටි ගණනක් දුන්නා               ය
කොළ රොඩු ගෙනත් මගෙ ඔලුවට හැලුවා    ය
කෙළ විතරයි තිබුණෙ ඒවත් ගැහුවා              ය

එපා කියා කීවට වැඩකට නැති                      ය
කාමරයට ගිහින් දොර ලොක් කෙරුවෙමි      ය
කෙල්ලගෙ මූණ රතු වී ලේ පිරුවේ               ය
නලවන්නට වුණෙත් අවසානෙට මට            ය






Tuesday, January 22, 2013

සින්ඩිගේ දින පොත 04 පිටුව.

                සින්ඩි සෙම්්‍රතිශ්‍යාවට බෙහෙත් ොයා ගනී 03.


පසුගිය ොටස් මෙතනින් බලමු...
                     දින පොතට පෙර වදන. 
                     සින්ඩි සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් හොයා ගනී 1
                             සින්ඩි සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් හොයා ගනී 2

අද එතැන් සිට........




රජතුමාට කොණ්ඩෙ කපන වැඩේටම සූදානම් කරපු වෙනම කාමරයක් කාමරයක් තියෙනවා. ඒ කාමරේ ඇතුළෙ තියෙන්නෙ මහා විශාල මූණ බලන කණ්ණාඩියකුයි කොණ්ඩෙ කපද්දි රජතුමා ඉදගන්න රාජකීය පුටුවයි විතරයි. හරිම පිළිවෙල යි. පැහැදිලි යි.
                         ඔන්න ඉතින් රජතුමා දැන් අර පුටුවෙ වාඩි වෙලා කොණ්ඩෙ කපා ගන්න සූදානම් වුණා. කරණවෑමියත් රජතුමාගෙ කොණ්ඩෙ කපන්න පටන් ගත්තා. රජතුමාත් ඇස් දෙක පියා ගෙන සනීපෙට ඉන්න ගමන් පොඩ්ඩක් නින්ද ගියා. කරණවෑමියා ‍දිගටම කොණ්ඩෙ කපනවා. ඒත් රජතුමා සැපට නිදා ගෙන ඉන්න හැටි දැක්කාම
එයාටත් පොඩි නිදිමත ගතියක් ඇවිත් ඈනුමක් ගියා. (අපිත් අත්දැකීමෙන්ම දන්නවානෙ ඈනුම කවදාවත් තනි වෙන් නෑ කියලා. කීප දෙනෙක් කතා කර කර ඉන්න තැනක එක්කෙනෙක්ට ඈනුමක් ගියොත් තවත් එක්කෙනෙක්ට දෙන්නෙක්ට හරි ඒක බෝ වෙලා තමයි නතර වෙන්නෙ)
                                                         කරණවෑමියාගෙ ඈනුම ඉවර වෙලා කට වහන කොට එයා ලාවට වගේ දැක්කා ජනේලෙන් මොකක්දෝ දෙයක් එළියට පනිනවා වගේ. ඒත් එයා ඒක ගණන් ගත්තෙ නෑ නිදිමත හන්දා හැදුන දෘෂ්ටි මායාවක් කියලා හිතලා.
                                               ඔන්න දැන් කරණවෑමියා රජතුමාගෙ කොණ්ඩෙ කපලා ඉවරයි. රජතුමා තාමත් නිදි. රජතුමාට ඇහැරවන්නෙ නැතුවම කොණ්ඩෙ හරියට කැපිලා ද කියලා බලන්න කරණවෑමියා රජතුමාගෙ ඉස්සරහාට ගියා. කොණ්ඩෙ දැන් ලස්සනයි. ඒත් රජතුමාගෙ මූණෙ මොකක්දෝ අඩුවක් වගේ දෙයක් කරණවෑමියාට පේනවා. එයා ටික වෙලාවක් රජතුමා දිහා බලාගෙන කල්පනා කළා...
                                                විනාසයි !!! රජතුමාගෙ නහය තිබුණ තැන නෑ. කරණවෑමියාට හීන් දාඩිය දැම්මා. එයාට නිදිමත හැදුන වෙලාවෙ නහය කැපිලා වීසි වෙන්න ඇති. දැන් ඉතින් නහය නැති වුණ බව දැකලා රජතුමා කරණවෑමියාට මොකක් කරයිද දන්නෑ.
                                               මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරුව වෙව්ලන අතරෙ කරණවෑමියාට මතක් වුණා අර ජනේලෙන් විසි වෙනවා වගේ පෙනුනෙ නහය වෙන්න ඇති කියලා. එයා ජනේලෙ ගාවට දුවලා ගිහිල්ලා එළිය බැලුවා. නහය පේන තෙක් මානෙකවත් නෑ. එයා දුකෙන් එළිය බලා ගෙන ඉන්න කොට හදිස්සියේම දැක්කා සින්තටියා දේශයට පහළින් තියෙන සිංහ දේශයෙ බිම දිගේ මොකක්දෝ පුංචි දිලිසෙන දෙයක් රෝල් වෙවී යනවා වගේ. මෙයා හිතුවා ඒ රජතුමාගෙ නහයම තමයි කියලා. දැන් ඉතින් වැඩේ හරි. කරණවෑමියාට හරිම සතුටුයි. එයා තමන්ගෙ අත ටුක් ගාලා දික් කරලා අර රජතුමාගෙ නහය වගේ දැක්ක දේ අර ගත්තා. ඒක අතට අරන් ඇස්‍ දෙක ගාවට ළං කරලා බැලුවාම කරණවෑමියා දැක්කා සාමාන්‍ය නහයකටත් වඩා ඒක දිස්නෙ දෙනවා කියලා. මේක නම් නහයක් වෙන්නත් බෑ කියලා කරණවෑමියාට හිතුණා. ඒත් කියන්න බෑ රාජ තේජසට නහය මෙහෙම දිස්නෙ දෙනවාද
දන්නෑනෙ. කරණවෑමියාට රජතුමාගෙ නහයෙ හැඩරුව හරියට මතක තිබුණෙත් නෑ. මොකෝ කොණ්ඩෙ කපන්න ආවම බොහොම පරිස්සමෙන් කොණ්ඩෙ කපනවා මිසක් රජතුමාගෙ නහය දිහා බලන්න යන්නෙ නෑනෙ. ඔන්න තමන්ගෙ අතින් කැපිලා ගිය කොණ්ඩ ගහක් ගානෙ හැඩරුව නම් එයාට හොදට මතකයි.
                                                  මේ අතේ තියෙන්නෙ රජතුමාගෙ නහයම ද කියලා කල්පනා කරන අතරෙ කරණවෑමියා දැක්කා රජතුමා ඇහැරෙනවා වගේ. කරන්න දෙයක් නෑ ඒ රජතුමා‍ගෙ නහය වුණත් නැති වුණත් දැන් කරන්න තියෙන්නෙ ඒක හයි කරන එක. ඉතින් කරණවෑමියා ටුක් ගාලා රජතුමාගෙ කලින් නහය තිබුණ
තැනින් ඒක හයි කළා. දැන් හරි වෙනසක් පේන්නෙ නෑ. ඒක රජතුමාගෙ නහයම තමයි.
                                                ඔන්න ඉතින් රජතුමාට ඇහැරුණා. එයා හිරි ඇරලා ඇස් දෙක පිහ දාලා එහෙම කණ්ණාඩිය දිහා බැලුවා. ෂා ! කරණවෑමියා හරි අපූරුවට කොණ්ඩෙ කපලා. රජතුමාට හරි සතුටුයි.  එයා
එහාට මෙහාට හැරි හැරී කණ්ණාඩියෙන් හැඩ බලන අතරෙ මූණෙ මොකක්දෝ වෙනසක් වෙලා වගේ තේරුණා. මොකක්ද ඒ? රජතුමා තව ටිකක් මූණ කණ්ණාඩියට ළං කරලා හොදට බැලුවා. වෙනදාට වඩා මූණ හරිම එළියයි. ඇයි ඒ? රජතුමා ටික වෙලාවක් කල්පනා කළා. පස්සෙ තමයි රජතුමාට වෙලා තියෙන දේ තේරුණේ. අද කරණවෑමියා
කොණ්ඩෙ කපලා ඉවර වෙලා රජතුමාගෙ නහයත් ඔප දමලා. සීරුවට ලස්සනට ඔප දිදී තියෙනවා. කරණවෑමියාට තෑගි බෝග, ධන ධාන්‍ය ඇතුළුව ගම් හත අටක් පවරලා දෙන්න තරම් රජතුමාට සතුටුයි. 



                                            රජතුමා තමන්ගෙ බිසොවුන් වහන්සේටත් කතා කළා. "හාමිනේ මේ බලන්නකෝ අපේ කරණවෑමිතුමාගෙ වැඩ. අද නම් උන්දැට මාත් එක්ක භෝජන සංග්‍රහයක් භුක්ති විදින්න දෙන්නම ඕනි." රජතුමාගෙ සද්දෙට බිසොවුන් වහන්සේත් ඇවිත් බැලුවා කරණවෑමියා මොකද කරලා තියෙන්නෙ කියලා. රජතුමාගෙ සතුට දැකලා එයාට ත් සතුටුයි. හැබැයි එයාට තේරුණා මෙතන මොකක්දෝ පටලැවිල්ලක් වෙලා තියෙන විත්තිය.....

ඔයාලාට හිතා ගන්න පුළුවන් නෙ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා ?


මතු සම්බන්ධයි ේ....

 

Wednesday, January 16, 2013

සින්ඩිගේ දින පොත 03 පිටුව.

                                     සින්ඩි සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් සොයා ගනී 02.


පසුගිය කොටසින්....

                  http://kalusudu-nimthera.blogspot.com/2012/12/01_30.html  



    සින්ඩිගේ ජිල්බාලිස් මැණික් ගල අල්ලපු කරාබුවට මොකද වුණේ?

                                                       අපි දැන් පොඩ්ඩකට සින්ඩිගේ විත්තිය අමතක කරලා සින්තටියා දේශයට පියාඹලා යමු. මේ කොටස අවසන් වෙන කොට සින්ඩිගේ කරාබුවට මොකද වුණේ කියලාත් අපිට දැන ගන්න පුළුවන් වේවි...
                      
                                     සින්තටියා දේශය පිහිටලා තියෙන්නෙ සිංහ දේශයට ටිකක් උඩින්. උඩින් කියලා කිවුවාම ඒක ටිකක් පැහැදිලි මදි ‍වගේ නෙ. ම්... මං මෙහෙම කියන්නම්කො. අපි හැමෝම දන්නවානෙ තට්ටු තට්ටු උඩට ගහපු ගෙවල් ගැන. අන්න ඒ වගේ තමයි සිංහ දේශයට උඩිනුත් සින්තටියා දේශය පිහිටලා තිබුණෙ. හැබැයි තට්ටු ගෙවල්වල උඩ තට්ටුවයි යට තට්ටුවයි සම්බන්ධ වුණාට මේ රටවල් දෙක එහෙම සම්බන්ධ වෙලා තිබුණෙ නෑ හොදේ... හරි දැන් සින්තටියා දේශය ගැන බලමුකො..
                                    සින්තටියා දේශයේ රජතුමා තමයි සින්ත්‍රාට් කියන්නෙ. එයාගෙ දේවිය බාබරාසි. මේ දෙන්නා බොහොම ආදරෙන්, සතුටෙන්, සාමයෙන් තමයි කල් ගෙව්වෙ.
                                     සින්ත්‍රාට් රජතුමා ලොකු බඩක් තියෙන කොට රජතුමෙක්. එයා සතුටින් ඉන්න වෙලාවට හරිම කරුණාවන්ත යි. ඒ වෙලාවට සින්තටියා දේශයේ රජකම කාට හරි පරිත්‍යාග කරන්න වුණත් සූදානම් තරමට එයා සැහැල්ලුවෙන් ඉන්නෙ. හැබැයි රජතුමාට කේන්ති ගිය වෙලාවට නම් මකරු හත් දෙනෙක් එක කටට ගිලලා දාන්න පුළුවන් තරමටම නපුරුයි. භයානකයි. 
                                 දැන් ඉතින් ඔයාලාට ප්‍රශ්නයක් වෙලා ඇති සතුටින් ඉන්න වෙලාවට රජතුමා තමන්ගෙ රජකම පරිත්‍යාග කරන්න වුණත් සූදානම් නම් කොහොමද මේ තරම් කාලයක් සින්ත්‍රාට් රජතුමා සින්තටියා දේශයේ රජකම් කළේ කියලා..ඒ ප්‍රශ්නෙ මටත් මතු වුණා.. එක්කො රජතුමාව සතුටු කරවලා මේ දේශය තමන්ට පවරා ගන්න ඕනි කියන අදහස මේ වෙනකල් කාටවත් ඇවිත් නෑ. නැත්නම් මෙච්චර කාලෙකට රජතුමා සතුටින් ඉදලාම නැත් වෙන්න ඕනි..



                                                          

                                       මේ ප්‍රශ්නෙට විසදුම තියෙන්නෙ බාබරාසි දේවිය ගාව. ඇත්තටම රජතුමා සතුටින් ඉදලා තියෙනවා. ඒ වගේම ඒ වෙලාවට සමහරු සින්තටියා දේශයේ රජකම ලබා ගන්නත් ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි බාබරාසි දේවිය හරිම නුවණක්කාරයි. එයා මේ වෙනකල් කාටවත්ම තමන්ගෙ රජතුමාව අයින් කරලා වෙන කෙනෙකුට රජකමට පත් වෙන්න ඉඩ දුන්නෙ නෑ. කවදාවත්ම ඉඩ දෙන එකකුත් නෑ. එහෙම තමයි නුවණක්කාර බිසොවුන් වහන්සේලා...
                                      සින්ඩිගෙ කරාබුවට මොකද වුණේ කියලා දැන ගන්න නම් අපිට තවත් කෙනෙක්ව අදුර ගන්න වෙනවා. ඒ තමයි සින්ත්‍රාට් රජතුමාගෙ කොණ්ඩෙ කපන කරණවෑමිතුමා. මෙයා රාජකීය කොණ්‍ඩා කපන්නෙක් උනාට හරිම බයෙන් තමයි තමන්ගෙ රාජකාරිය කළේ. මොකද රජතුමාගෙ කොණ්ඩෙ කපන්න ගිහින් කනක්වත් කැපිලා ගියොත් රාජ උදහසට ලක්‍ වෙනවානෙ. එහෙම වරදක් සිදු වුණොත් දඩුවම කොතනින් කෙළවර වෙයිද කියලා හිතා ගන්නවත් බෑ. ඒ හන්දා රාජකීය කරණවෑමියා බොහෝම පරිස්සමෙන් හෙමීට එක කොණ්ඩ ගහ ගානෙ වගේ අල්ලලා තමයි රජතුමාගෙ කොණ්ඩෙ කැපුවෙ.
                                    ඔන්න 22වෙනි අගහරුවාදාත් කරණවෑමියාට රජතුමාගෙ කොණ්ඩෙ කපන්න නියම වෙලා තිබුණ දවසක්. ඉතින් කරණවෑමිතුමා උදෙන්ම නැගිටලා හත් පාරක් මූණ හෝදලා පිරිසිදු වෙලා
රජතුමා ගාවට ගියා. රජතුමාත් කරණවෑමියාව බලාපොරොත්තුවෙන් කොණ්ඩෙ කපා ගන්න සූදානම් වෙලා තමයි හිටියෙ........

(පිටුව දිග වැඩි වෙන කොට කියවන්න පොඩි කම්මැලි ගතියක් දැනෙන්න පුළුවන් නෙ. ළමයි කම්මැලි වෙන්න හොද නෑ හොදේ. ඒත් කමක් නෑ මම ඊළග කොටස ඊළග පිටුවෙන් දාන්නම්. සින්ඩිගෙ කරාබුවට මොකද වුණේ කියලා තාම දැන ගන්න බැරි වුණාට පොරොන්දු කඩ කළා කියලා හිතන්න එපා. ඒකත් ඊළග කොටසදි කියවන්න
බලමු...)

Friday, January 11, 2013

ටොපිය..

මේ පාර
රතු පාට - සුදු පාට
ලස්සනම දවටනයක
මැදි වෙලා ඇවිත්
දෙරක් නොහිත
කන්නම හිතෙන 
විදියට...
ඒත්
ඇතුළෙ තියෙන්නෙ
අර ටොපියමයි
එදා මට 
විස වුණ....

Monday, January 7, 2013

අරන් යන්න මේ කවියත්...


මහ පාරේ වෙල් දෙණියේ - රුහිරු කදුළු ඩා දිය බිදු
නුඹ වෙනුවෙන් ලොව වෙනුවෙන් - නුඹේ ගතින් වැගිරෙන කල
සොයුර තවම නුඹ නොදනිය - මගෙ හදවත හැමදාකම
නාදුනනා නුඹ වෙනුවෙන් - ආදරයෙන් උතුරන බව

පය තබනා මාවත දිග - ඇතිරුණ රුදු කටු වැට වැද
නුඹේ දෙපය රිදුම් දි දී - රුහිරු ගලනු දැක දැක නුඹ
හීන් හඩින් හිනැහෙන කල - සොයුර තවම නුඹ නොදනිය
මගෙ හදවත නුඹේ නමින් - උපන් පෙමින් නැලවෙන බව

කප්පරයක් දුක් කදු මැද - උදා ඉරක් සේ නැග එන
සනුහරයට ගෙලේ බදින - මිණි කැටයක් වී දිදුලන
නුඹ දුටු කල ආදරයෙන් - උතුරා යන සිතුවිලි මැද
සොයුරිය මා නොකිවු වදන - හද පතුලේ සැගවී ඇත

ජීවිතයේ ජය ටැඹ වෙත - ජීවනයේ තනුව වයන්
යනවා නම් මේ පාරෙන් - අරන් යන්න මේ කවියත්
එතකොට මට හැකි‍ වේවිය - නවතින්නට හැමදාමත්
නැවුම් ලොවක් බිහි කරන්න - දිරි දරනා නුඹ ගාවත්

මරු කතරක දිය සොයනා - මනු කුලයට සැනසුම දී
දිවි අවසන මිය යන සද - සිනහවකින් සමු දෙන්නම්
කදුළට ඉඩ නොතැබූ නුඹ - කිසිම දිනෙක දැන ගනු නැත
නන්නාදුනනා කෙනෙකුන් - නුඹ වෙනුවෙන් වැළපුණ බව

Friday, January 4, 2013

බඹර ගීතය




හිනැහුණා
නැලවුණා
ඇති තරම් මත් වුණා

රෝස මල්
කැකුළකට
පුංචි වදයක් වුණා

නොදැනීම
ඉර හැරෙන
වෙලාවත් ළං වුණා

රෝස මල
නෙතු පියා
සමුගන්න ළං වුණා

කියන්නට
හිටි යමක්
පපුව යට හිර වුණා

හිතේ පිපි
මල් යාය
මල එක්ක පර වුණා...

Tuesday, January 1, 2013

මේක මගෙ යාළුවෙක් මට කියපු කතාවක්... සිදුවීම විතරක් කියන්න ඕනි වුණ හන්දා බරසාර වචන නොදා සරලවම මෙහෙම ලියන්නම්..

                                                      මේ යාළුවා එයාගෙ ගමේ බස් කොන්දොස්තර කෙනෙක් එක්ක පොඩි පටලැවිල්ලක් තිබිලා තියෙනවා. වෙන මොකටවත් නෙවෙයි.. දවසක් බස් එකේ දි ඉතුරු සල්ලි නොදී ටිකට් එකත් නොදීපු වරදට. අපි දන්නවානෙ සාමාන්‍යයෙන් කොන්දොස්තරලා ටිකට් කඩන්නෙ නැත්තෙ මොකද කියලා. කඩන්නෙ නැති ටිකට්වල ගාන රිංගන්නෙ කොන්දොස්තරගෙ හරි ඩ්‍රයිවර්ගෙ හරි සාක්කුවට. සරලවම කිවුවොත් ඒක වංචාවක්නෙ. මේ යාළුවා ඉතින් සාධාරනේට තමයි වැඩ. ඒකයි එයාට තරහා යන්න ඇත්තෙත්. එදා බස් එක නතර කරලා තියෙන්නෙත් අදාල නැවතුමට ටිකක් ඈතින්. ගමේ මිනිහා වෙලත් මේ කරපු දේට යාළුවට තරහා ගිහින්. කොන්දොස්තර මහත්තයාව ගමේදි මුණ ගැහුනත් ආයෙ කතා කරන් නෑ කියන
මතයෙ තමයි යාළුවා ඉදලා තියෙන්නෙ. ඒ බව එයා ගෙදරටත් කියලා තිබුණා...
                                                   මෙහෙම ටික දවසක් ගෙවිලා යන අතරෙ දවසක් යාළුවාගෙ අම්මා මෙයාට කිව්වාලු ඔයා කේන්තියෙන් ඉන්න කොන්දොස්තර මහත්තයාගෙ නෝනාට පිළිකාවක් කියලා ඉස්පිරිතාලෙ නවත්තලා කියලා. ඒ වෙලාවෙ යාළුවා වැඩ මැද්දෙ හිටිය හන්දා ඒක ඔළුවට වැටිලා නෑ.
                                                      කාලය ඔහොම ගත වෙලා ගියා. ටික දවසකට පස්සෙ දවසක් මේ යාළුවා පාර දිගේ ඇවිදන් එන කොට ඉස්සරහාට අර කොන්දොස්තරව මුණ ගැහිලා. කොන්දොස්තර මහත්තයා
අමාරුවෙන් වගේ මෙයාත් එක්ක හිනා වෙන්න හදනවා කියලා එයාට තේරිලා. එයාට එක පාරටම මතක් වෙලා තියෙන්නෙ කලින් සිද්ධ වුණ ඉතුරු සල්ලි නොදීපු සිද්ධිය. ඉතින් මෙයා ‍කොන්දොස්තර මහත්තයාට 
හිනා පොදකින්වත් සංග්‍රහ කරන්නෙ නැතුව අහක බලා ගෙන එතනින් ගිහින් තියෙනවා. අවාසනාවන්තම සිද්ධිය වෙන්නෙ ඊට පස්සෙ. එදා හවස යාළුවා ගෙදර ගියාම අම්මා කියපු දෙයින් එයා තුෂ්නිම්භූත වෙලා.
මොකක්ද දෙයක් එයාට නැති වුණා කියලා දැනෙන්න පටන් අරන්. අම්මා කිව්වෙ "එදා හවස අර කොන්දොස්තර එයාගෙ කාමරේ එල්ලිලා මැරිලා" කියලා. මොකක් නමුත් ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති කියලා අම්මා කිවුවලු.
                                                      මේ යාළුවාට ඇති වුණ කම්පනය හිතා ගන්න පුළුවන් නේද? සමහර විට අර කොන්දොස්තර මහත්තයා මැරෙන්න හිතා ගෙන ගෙදර යන අතරෙ වෙන්න ඇති දෛවය විසින් යාළුවාව මුණ ගස්සන්න ඇත්තෙ. ඒ වෙලාවෙ තරහා අමතක කරලා එයා එක්ක නැවතිලා විනාඩියක් දෙකක් කතා කළා නම් ඔහුගෙ මරණය වළක්වා ගන්න යාළුවාට පුළුවන් කමක් තියෙන්නත් ඇති....

ඉතුරු ටික මං එයාගෙ වචනනලින්ම කියන්නම්..


"......සමහර විට ඒ මනුස්සයාට අන්තිමටම මුණ ගැහෙන්න ඇත්තෙ මාව. මිනී මරුවෙකුගෙයි මගෙයි අතර වෙනසක් කියෙනවා නම් ඒ බොහොම පොඩි වෙනසක්. මගෙ පසුතැවීම ඔයාට අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.
අන්තිමට එයාගෙ නෝනාට සනීප වුණා. හරියටම ඒ මනුස්සයාව හම්බවුණ තැනදි මට ඒ ආන්ටිවත් ‍මුණ ගැහෙනවා ගොඩක් වෙලාවට. ඒ හැම වෙලාවකම පපුවට පිහියකින් අනිනවා වගේ දැනෙන්නෙ...."

මේ ලිපිය තවත් දිග් ගස්සන්න මම කැමති නෑ. ඒ මේක ලිව්වෙ යාළුවාගෙම ඉල්ලීමක් මත උනත් කවදා හරි දවසක මේ වචන දැකලා එයාගෙ හිතට ආයෙම වේදනාවක් දැනෙයි කියන බයට. ඒ හන්දා කතාව ලිවුවෙත්බොහොම කෙටියෙන්.
                                                  
මේ කතාව කියලා මම මනුෂ්‍ය අත් වැරදීම්වලට සමාව දීමේ අගය ගැන දේශනයක් පවත්වන්න හදන්නෙ නෑ. ඒත් ජීවිතේ පසු තැවීමක් ඉතිරි කර නොගෙන ජීවත් වෙන්න කැමති අය මේ කතාව ගැන ටිකක් වැඩිපුර හිතන එක වටිනවා කියලයි මගේ අදහස..