Monday, November 18, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...

 9

"බනිනවා යාළුවෝ හොදටම"

"මොකටද?"

"ඔයාව හම්බ වෙනවට..."

"මටත්.."

"මම දන්නවා..."

"අපිට ඒ කාලෙත් කවුරුවත් හිටියෙ නෑ.. "

"අදත් නැහැ.."

"යාළුවො හැමදාම කරන්නෙ බනින එක විතරයි..අපි දෙන්නා විතරයි හැමදාම.."

"හ්ම්ම්..වැරැද්දක් කරන්නෙ අපි..."

"කවුරුවත් සමාව දෙන එකක් නෑ..ඒ දෙන්නවත් සමාව දෙන එකක් නෑ..."

"අපි අපිට සමාව දී ගමු.."

               -හොදටෝම හිනා අපිට-

"යන්න කලින් එක දෙයක්.."

"ම්ම්..?"

"පොරොන්දු වෙන්න.."

"මොකක්ද?"

"ආයෙම හම්බ වෙනවා කියලා.."

"කවදද?"

"ලබන ආත්මේ.."

"පොරොන්දු වෙනවා.."

"ඔහොම බෑ.. මෙහෙම ඉදුල් අත උඩින් ඔය ඉදුල් අත තියලා.."

"ඔයාට නම් පිස්සු.."

"ආයෙම බත් කටක් කවන්න එනකම් බලන් ඉන්නවා.."

"මම එනවා.."

"පොරොන්දු කැඩුවොත් පවු.."

"ඔයා දන්නවනෙ මගෙ පොරොන්දු රැකිල්ල.."

-හොදටෝම හිනා අපිට-



දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...

 8

"දෙන්න මගේ ලේන්සුව"

"මේසෙ දූවිලි..පිහදාන්නම්.."

"පිහදැම්මොත් බලාගමු.!"

"මුකක්ද?"

"දානවා ජනේලෙන් පල්ලට.!"

"ලේන්සුව?"

"නෑ ඔයාව"

"හා...පිහදැම්මා ඔන්න.."

"අන්න කළා..කවුරුවත් කරන් නෑ මට ඔහොම..තව ඇගිල්ලත් දික් කරනවා.."

"ඌයි"

"කඩනවා ඇගිල්ල"

"ආ"

"විසි කරනවා ලේන්සුව..එපා ආයෙම මට."

"තරහ ගිහින් ඔයාට..!
මෙන්න මගේ ලේන්සුව..පිහදානවා මුළු මේසෙම මම..ඒකෙත් දූවිලි දැන්..මේ..."

"දෙන්න ඕක මෙහාට"

"මොකටද?"

"තියා ගන්නවා මම"

"ඕක හෝදලා නෑ"

"එහෙනම් හොදයි"

"හඩ්ඩා"

"හඩ්ඩි"

"දෙන්න ඔයාගෙ එකත් මට..."

-හොදටෝම හිනා අපිට-







ඉන්නවා මම

ලයිබ්‍රියේ අන්තිම පේළියේ
තාමත්
දැනෙන කොට වෙහෙස
ජීවිතයට
හිනා වෙනවා තනියම
එතන නැවතුන
අපේ ආත්මත්
එක්ක...



Sunday, November 17, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...

 7

"යන්න කලින් එක දෙයක්.."

"මොකක්ද?"

"මේ ඔරලෝසුව මගෙ අතේ බදින්න.."

"ඔරලෝසුව නෙවෙයි මේ රාබිය..ඔයාට ගෙනාවෙ.."

"මට?"

"ඔහොම බලන්නෙ නැතුව අත දෙන්න මෙහාට.."

"දකියි ඔයාගෙ යාළුවො.."

"කමක් නෑ.."

"කමක් නෑ?"

"දැන් මම බය නෑ ජීවිතේට.."

"ගොඩක් වෙනස් වෙලා?"

"ඔව්..මම දැන් ස්වාධීනයි..කාටවත් දෙන්නෙ නෑ මාව පාලනය කරන්න.."

"ඒත් ඔයාට හොද නෑ"

"ඔයා බයයි..බයගුල්ලා..උදවු වෙන්න මේක ගැට ගහන්න.."

"ආයෙ ගැළවෙන්නෙ නැති වෙන්නම බදින්න.."

"මම දන්නවා ගළවන්නෙ නැති බව.."

"තදට බදින්න..දවසක ගළවන්න ඕනි වුණත් ගළවන්න බැරි තරමට තදට බදින්න.."

"එයා ගළවයි මේක.."

"නෑ..ගැළෙවුවොත් මම..වැඩි පරිස්සමට සාක්කුවට දා ගන්න.."

-හිනා හොදටෝම අපිට-

 
පෙම්වත,
තියා ගන්න රාබිය
ඇයත් එක්ක හමු වුණොත්
දවසක
නලවන්න මගේ සිත
මට පෙනෙන්නට
අද වගේම ආදරෙන්
තියා ගන්න
මගේ රාබිය..


දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ....


 6

 "ඔන්න කදුළු"

"ඒ හිනා වෙලා"

"ඔයාගෙ බොරු හිනාව..හංගන්න බෑ ඔය හිත.."

"පිස්සු ඔයාට"

"හිනා වෙන්න එපා බොරුවට"

"හිනා වෙනවා මං හැමදාම"

"අඩනවට වඩා හිනා වෙන කොට රිදෙනවා ගොඩක්"

"ඒ කොහොමද?"

"හංගන්න බෑ ඔයාට කිසි දෙයක්"

"මෝඩයා"

"හ්ම් පිළිගන්නවා..මම මෝඩයි.."

"අන්න දැක්කද? මම කිවුවනේ ඒ කාලෙත්..
ඔයා පළවෙනි වතාවට මට පරාද වුණා..සමරන්න ඕනි ඒක නම්.."

"මෝඩයි මම..ගොඩක් මෝඩයි.. දැනන් හිටියෙ නෑ මේ තරම් ආදරයක් තිබුණ වග.."

"එහෙම කියන්න එපා"

"මෝඩයි ඔයත්..කිවුවෙ නෑ මට කිසි දෙයක්.."

"හ්ම්...මමයි වැරදි..."

"නෑ මම..."

"අපි දෙන්නම.."

"ඔවු දෙන්නම වැරදි..දෙන්නම මෝඩයි.."

"මතකද ඉස්සර ඔයාට මෝඩයා කියද්දි කේන්ති යනවා? හොදටම බැන්නා දවසක් මට...!!"

-හොදටෝම හිනා අපිට-



දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...

5

"පටන් අරන් ද?"

"නෑ තාම"

"ලයිබ්‍රිය ගාව ඉදන් බලන් හිටියා ඔයා යනකම්ම"

"මට හිතුණා කොතන හරි බලා ගෙන ඇති කියලා"

"එදා cls ගියා වගේ.."

"ඔව්..මට මතක් වුණා ඒක..හොරෙන්ම පස්සෙන් ඇවිත් cls එකට යනකම්ම බලන් හිටියා නේද?"

"හ්ම්ම්.."

"ඔයාට නම් පිස්සු..හැමදාමත් එහෙමයි.."

"වෙනස් වෙන්නෙ නෑ"

"පණ්ඩිතයි හොදටම..."

-හොදටෝම හිනා අපිට-


කොතන හිටියත්
දැනෙනවා මට
බලාගෙන කියලා
මගෙ දිහා...

Saturday, November 16, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...

4

"රතු වෙයි මූණ"

"ඒ මොකද?"

"අවුව ඔයාට"

"කමක් නෑ"

"කකුලටත් අවුව"

"හ්ම් ඔවු නේද.."

"කලු වෙයි.."

"කමක් නෑ"

"බෑ එහෙම වෙන්න"

"ඔයාටත් අවුව"

"ඔවු මාත් කලු වෙයි"

"ඔයාගෙ තව මොනාද කලු වෙන්න තියෙන්නෙ"

"ආ..ඔන්න කිවුවා...මේ බලනවා මම සුදුයි...කවුරුවත් කියන්නෑ මට ඔහොම..."

"මම කියනවනෙ ඒ වුණාට"

"ඔයාගෙ කකුල පිච්චෙනවා.."

"කමක් නෑ.."

"ඔන්න මගේ කකුලෙන් වහනවා ඔයාගෙ කකුල.."

"පිස්සු ඔයාට.."

"මූණත් වැහුවෑකි.."

"මූණ?"

"ඔවු අනිත් කකුලෙන්.."

"කකුලෙන්.!!"

"හි හි ඔන්න අවුවටත් කලියෙන් රතු වුණා මූණ.."

-හොදටෝම හිනා අපිට-




Friday, November 15, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ..

"දන්නවද මම දැන් කොතනද ඉන්නෙ කියලා?"

"කොතනද?"

"හොස්ටල් එකේ වහලෙ උඩ"

"වහිනව නෙ?"

"ඔවු වහිනව හොදටම.."

"දැන් කිවුවෙ මට වහින නිසා කන්න එළියට යන්න කම්මැලි කියලා?"

"ඔවු කන්න යන්න කම්මැලි..තෙමෙනව නේ..."

"වහලෙ උඩ තෙමෙන් නැද්ද එතකොට?"

"තෙමෙනවා..ඒ වුණාට නිල් පාට කුඩයක් තියෙනවා ළග.."

"ඉහළ ගන්න ඕක..මොකටද වහලෙ උඩ නැග්ගෙ.?"

"බෑ ඒක දිහා බල බල ඉන්නවා..මට මගේ නොවන මගේම නිල් කුඩයක් තිබුණා කිය කිය..."

"තෙමිලා ලෙඩ වෙයි..බහින්න ඔතනින්.."

"බෑ.."

"විහිලු නෙවෙයි. බහින්න කිවුවෙ..!"

"හොදින් කිවුවොත් බහිනවා.."

"හා බහින්න.."

"බෑ එහෙම බෑ.."

"බහින්න..."

"එහෙම කිවුවට බහින්න හිතෙන් නෑනෙ.."

"කෝ බහින්නකෝ..."

"මදි මදි"

"බහිනවා එක පාරක් කිවුවම.!"

"හි හි ඔය එක පාරක් යැ..දැන් කී පාරක් කිවුවද?"

"මගෙ යකා අවුස්සන් නැතුව බහින්න ඔතනින්.."

"යකායවත් කියලා බලමු කියන්න ඕනි විදිය තේරෙයිද කියලා..."

"බැහැපිය කියන දේ අහලා.!!"

"හම්මොහ්..ඉන්න ටිකක්....."

"හ්ම්ම්..
බැස්සද?"

"නෑ මේ තව උඩට නගින්න තැනක් නැද්ද කියලා හෙව්වෙ.."

"හිතුවක්කාරයා..."

"ඔයා වගේමයි..."

-හොදටෝම හිනා අපිට-




















Thursday, November 14, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...


2

“ඉස්සර වගේමද හිත.?“

“මොකක් ගැනද.?“

“මං ඇහුවෙ අපේ විප්ලවේ ගැන..“

“ඔයා හැමදාම කිවුවෙ මං රැඩිකල් නෑ කියලනේ..“

“තාමත් මතකයි නේ ද හැම දේම.?“

-හොදටෝම හිනා අපිට-

“මතකද අපි අපේ ගිය ආත්ම බැලුවා.?“

"ඔයා ඒ කාලෙ රුසියාවෙ විප්ලව කරද්දි මම චූටි බබෙක් කිවුවෙ.."

"ඔවු අපි කිසිම ආත්මෙක හම්බෙලා තිබුණෙ නෑනෙ.."

"ඒ වුණාට ලබන ආත්මෙ හම්බෙනවා නේද?"

"මොකටද?"

"විප්ලව කරන්න"

-හොදටෝම හිනා අපිට-

Wednesday, November 13, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...


1

එක ගාවමයි දෙක උපන්නෙ
අපූරුයි දෙක
පැටලෙනවා හිත
දෙකේ ඉලක්කම ගාව
  අපි දෙන්නගේ
  මාස දෙකක කතාව
  අවුරුදු දෙකක විදවීම
  සති දෙකක හමුවීම..
මතකයි ද 29.?
එතනත් මුලට දෙක
ඇයි ඉලක්කම් දර්ශකේ.?
ඒක ඔයාගෙ ගණන් සාස්තරේ
ඒකත් දෙක..
ඒත්
දැන් ආයෙමත් නම්
දෙකේ ඉලක්කම
හමු වෙන්නෙ
නැති වේවි
අපිට...!!