Tuesday, February 5, 2013

විවාහයට හසු නොවූ ආදරය...


 
(ආදරය වෙනුවෙන් ජීවිත බිලි නොදී දෙපසකට වූ නමුත් වෛරයට ආදරය පාවා නොදී ස්වකීය ආත්ම‍ය පුරාවට ප්‍රේමය වගුරුවාලන සියලු හදවත්වලට උපහාරයක් වේවා)

වලාකුළු මතින් මිදී ඇද හැලෙන මහා වර්ෂාවකට උරුම මහ පොළවය. ‍නැතහොත් තෙරක් නොපෙ‍නෙන මහා සාගරය ය. වර්ෂා තොමෝ මහ පොළවටත් මහා සාගරයටත් පෙම් බදින්නී ය. එනමුත් නිහඩ වලාකුළු මත තම සෙනෙහස නොරදවන්නී යයි කිව හැකිද? 
ඕ වලාවෙහි නොරැදී මහ පොළව වෙත ඇද හැලුනේ සෞභාග්‍යය උදා කරලීමේ උදාර අරමුණ සාක්ෂාත් කරලීමටය. සකල සත්ත්වයාගේ යහපත උදෙසාය. අවසාන වශයෙන් තමා ලද ජීවයෙන් උපරිම වූ පල නෙලා ගැනීම් වස්ය.

අවසානයක් නොදකින අනන්තයකට ඇදී යන මන්ද මාරුතයට උරුම ආකාශය ය. නැතහොත් විශ්වය ය. මන්ද මාරුතය මේ සියල්ලකටම පෙම් බදින්නීය. එනමුත් ඕ තමාට අතර මගකදී හමුවූ පුංචි මල් කැකුළකට ‍පෙමින් නොවෙලුනේ යයි කිව හැකිද?
ඕ සිත් ගත් මල් කැකුළ අස රැදී නොසිට විශ්වය පුරා හමා ඇදුනේ සකල ලෝකයාට සිසිල බෙදා දීමේ උදාර පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම් වස්ය. තම ජීවය ලොවට බෙදා දිය යුතුය යන ස්ථිර අධිෂ්ඨානය නිසාවෙන්ම ය.

මහා වර්ෂාවත් මන්ද මාරුතයත් ප්‍රේමය වින්දෝය. විදින්නෝය. නමුත් ප්‍රේමය නිසා තම උදාර වූ පරමාර්ථ අළු දූලි කොට නොදැමුවෝය. ගමන අතර මගක නතර කර නොදමා තම ජීවයෙන් උපරිම පල නෙලා ගත්තෝ ය.
එනිසා ඔවුන්ට ප්‍රේමයේ විදවීම නොව වින්දන පක්ෂයම ත්‍යාග විය.

වර්ෂා තොමෝ වලා සෙවණට බැදි ප්‍රේමයෙන් මහ පොළවට ඇද හැලීම ප්‍රතික්ෂේප කෙරිණි නම් සත්ත්වයාට වර්ෂාවෙහි සුව නොලැබ යන්නේය. එපමණකුදු නොව ඇයට වර්ෂා යන නාමය අහිමිව සිය ආත්මගත වූ
අනන්‍යතාව අහිමි වන්නේය. වලාවන්ට ද ස්වකීය උරුම පැහැය අහිමිව යන්නේ ය. වර්ෂා තොමෝ වලා යහන ස්වජීවන නැවතුම බවට පත් නොකර ඇද හැලෙනුයේ එබැවිනි.
වර්ෂා තොමෝ වලා කුමරුටත් වලා තෙමේ වර්ෂා කුමරියටත් ගර්හා නොකොට සෙනෙහස බෙදා ගත් අයුරු අගනේය.
එවන් සෙනෙහසක් විෂය වන්නේ විරාගී හදවතකට පමණක්ම ය. සොබා දහම ඔවුනට ආසිරි ගී පතුරුවනු ඇත.

උදාර හදවතක උපදින සෙනෙහස ආත්ම අර්ථයකට පමණක් සීමා නොවන්නේය. ඇතැම් විටක එවන් සෙනෙහසක් විවාහ බන්ධනයකට හසු නොවන්නටද හේතු වන්නේ එකී කරුණමය.

ප්‍රේමය නෙතට නොපෙනෙන සමට නොදැනෙන ඇතැම් විටෙක  සිතට ද නොහැගෙන නමුත් ආත්මයට පමණක්ම විෂය වන බරසාර තේමාවක් වන්නේ ද එබැවින් ය.....