Monday, December 8, 2014

අට ලෝ දහම !


“රතු පාට”  “නිල් පාට”  “කහ පාට”
පෙති අතර
“කොළ පාට”
නැති වුණත්
දැකල තියෙනව නේද නුඹ
කොයි ගහෙත්
කොළපාට තියෙන වග ?

එතනිනුත් එහාට

කොයි කොළෙත්
ඉදෙන කොට
රතු පාටට හැරෙන බව ?
මැලවෙන්න ළං වෙලා
කහ පාට ගන්න බව ?

අහයි ඔබ
“කෝ ඉතින් නිල් පාට”
හහ් හා
ඔය තියෙන්නෙ
පාට බෙදන
උඩම තැන
නිල් පාට

අන්තිමට,
අහසත් හැරෙනවා
කොයි කොයි පාටටත්

සීරුවට - මාරුවට ! 










Sunday, October 26, 2014

වියෝගය



ගෙම්බා
                            න 
වතුරට    පැ
                                         ලා

සෑහෙන වෙලාවක්
ගියාට පස්සෙයි
මට
  ජබුං”
සද්දෙ
ඇහුණෙ



Saturday, September 20, 2014

මට කලින් - නුඹ
නුඹට කලියෙන් මම
උනුන් හා තරගයට
අතහැරපු මල් පදුර

කොහෙන්දෝ පතිත වුණ
දගකාර බැල්මකින්
අහම්බෙන් පැළ වෙලා
මල් පිපුණ මල් පදුර

අතහැරපු දා ඉදන්
නියගයට අහු වුණත්
තාම දලු ලා නැගෙන
මල් පිපෙන මල් පදුර

කැලේටම වල් වැදිලා
දැන් හුගක් ලොකු වෙලා
ලාඩප්ප ගස් වැටිය
පහු කරන් උස් වෙලා
            ( අපි උන්නු කාලෙ නම්
               කප්පාදු කළ නිසා
               ඒ තරම් උසක් ගැන
               වගක්වත් තිබුණෙ නෑ )

පේනවද අග්ගිස්ස ?
ලාඩප්ප ගස් වැටියෙ
කොළ පාට උරා ගෙන
තරගයට වගෙ වැඩෙන
අතු දෙකක් තියෙන හැඩ
            දන්නවද ඒ කොනක
            සුදුම සුදු මල් දෙකක්
            තාම - අපි නැති වුණත්
            හැමදාම පිපෙන වග !

.ලි. -  

“කවුද බලමු ලෝකෙටම ඇහෙන්න ,
  මම උඹල හැමෝටම ආදරෙයි කියලා -
  මුලින්ම කෑ ගහන්නෙ ?”
  (නුඹ මගෙන් හැමදාම අහපු ප්‍රශ්නයක්)

මේ තමයි හරි කාලෙ
ලෝකෙටම ඇහෙන්නට
ඒ රහස කියන්නට !
            පෝර දිය නැති වුණත්
            අපේ ඒ මල් පදුර
            තවම මල් පුබුදුවන

            රහස එළි කරන්නට !

Monday, July 28, 2014


නිමිත්ත - මගේ පෞද්ගලික අත්දැකීම අනුව රත්නපුර මහ රෝහල යනු තම රෝගීන් අවසන් අඩිය වන තුරුත් වෙනත් රෝහලකට මාරු කර නොයවන තැනකි. පසුගියදා දේශපාලනඥයෙකු සම්බන්ධයෙන් එය ක්‍රියා කරනු ලැබුයේ ඊට හාත්පසින් වෙනස් ආකාරයකටය..

අහසත් බෙදන්නේ වැහි බිදු මැනලාය
සතියක් වුණත් ඉන්නේ උස් තැන්වලය
වතුරක් නැතුව වියලුණ බිම් දැක දැකම
ගැලුවත් ගලන්නේ ගං දිය මුහුදටය

කට රැක ගන්න දත විකුණන ලොක්කන්ය
රට තුළ සියලු සැප ආමිස ඔහුටමය
කුලියට ජීවිතය විකුණන මහතුන්ය
බෙහෙතක් වුණත් උන් ළගදී විරසකය

කකුලක් සීරිලා ගොඩ වුණ ලොකු තැනෙක
පැයකින් අගනුවර ඉහළම රෝහලෙක -
එතැනම ඇදක් උඩ සතියක් පණ ඇද්ද
සිවු දෙනෙකුගේ අප්පච්චී මියැදුණිය...













Saturday, July 26, 2014

සර්කස්


සතියක් දෙකක් එක නගරෙක
දිවිය උකස් වන්නා
එතැනින් නික්ම හෙට වෙනතක
කූඩාරම් ගසනා
සංගිලි පාලමට වැඩියි
හදවත වෙවුලන්නා
මල්ලියෙ නුඹෙ මූණ මැවී
හිතට රිදුම් දෙන්නා

          "ජීවිතෙත් කරණමකි - විසල් අහසට නැගෙන
           උඩට යන විට මුවින් - විසිල් හඩ එක් කෙරෙන
           ඉහළ නැංගා වගෙම - විසල් අහසින් බහින
           පහළ එන ක්ෂණයකින් - විසිල් හඩ මැකී යන"

ඉහළින් ඉහළ නැග ඔල්වරසන් මැද්දේ
දෙපයින් සිරුර සමබර කර නුඹ පැද්දේ
අතකින් අතක කඹයක කෙළවර පැටලේ
බයකින් මගේ ළය ලිස්සා හිත ගැස්සේ

පෙරදින ඔතැන ගිලිහී ගිය සිරුර ඇගේ
යන්තම්වත් මතක් නොවුණිද හිතට නුඹේ
වෙහෙසට පෙගුණ නුඹෙ ඇස් දෙක දකින වෙලේ
කොහොමින් ගසන්න ද අත්පුඩි කියන් මලේ... 

Saturday, July 12, 2014

යසෝදරාවක වන්නට නොහැක මට..

 

















ඉවුරේ කොනක ඔරු කද මත වාඩි ගෙන
පින්සර මුවේ හසරැල්ලක් තබා ගෙන
නිශ්චල නෙතින් දුර ඈතක බලා ගෙන
හිමියනි කොහේ යන්නද මේ උදෑසන

වනේ ඉන්න රුදු සතුරන් දුරස් වන
මනෝ රම්‍ය ඔය හිතමය නවාතැන
පෙමක් තිබෙයි මේ භවයෙත් සනාතන
සිනාවෙන්න මා දෙස නෙත් විදා ගෙන

හිත යට පුංචි රිදුමක් වෙද කියාපන්
නළලත සියුම් රැළි මා ළග ලිහාපන්
මෙගොඩහ ඉමේ මා තනිවම නොලාපන්
එගොඩට නොයම් යයි දිවුරා කියාපන්....!



Tuesday, June 3, 2014

වැහැපන් දිමිටි වතුරම...!

                     දැන් - දැන්

                         ද්    ද  -  ප
                රෙ                         ලා
         ඩ                                        ගෙ    
  කු                හිස් ගෙඩි මතට                න
                     වැටෙතැයි සිතෙන
                     මොර ගෙඩි

                    
                     හදවතත්  උ  ගු  ළු
                                                  වා
                                                ග
                                             න්
                                          න     
                                            ත  ත න න
                                            මොර ගෙඩි
                                            විසි කරන
                                            හුළං පොදි
_____________________

අහසක් පැලුව වැහි යට
අතකින් ඔලුව වහ ගෙන
වහලක් හොයන් දිව යන
හිස් පෙගුණ දැඩි පිරිමි ය

ඇදි වත ඇරන් දුර යන
හීතල - ගැහෙන පිනි මැද
නැවෙන - තෙරපෙන කුඩ යට
තෙත බරිත වුණ ගැහැනු ය

දෙදණක් උසය වට දිය
කාණු ඉස'ගින් දිව යන
ගගක් නැතිවත්  "ගං දිය"
ගලන හැටි මහ පුදුම ය

අක් වැහි - අසෙනි වැහි යට
දියබත් පොළව මතුපිට
දලුලා හෙමින් නැගැ එන
පීදෙන පුංචි මලෙකි ය

කාටත් පළමු - වහළෙක
තැනක් අල්ලන හිත මිස
පීදෙන පුංචි මල ළග
කිසි ඇසක් නැත දැවටෙන

අනාගත යම් දිනයෙක
ඒ පුංචි සරු දලුපත
මහ ගසක් වන තුරුවම
වැහැපන් දිමිටි වතුරම...!
                   
                                          

Friday, April 18, 2014


.
නැවුම් රස -
පැතුම් හා මුසු කර
වැටුණු අඹ ගෙඩියකට
තුඩින් ඇන
පල වෙත්ද...?









ඡායා - අන්තර්ජාලයෙන්

Sunday, March 23, 2014

පෙර - පසු

ළගට ආවට රහ වෙලා
ලිවුව වචනෙට හා වෙලා
වගෙයි දැන් නම් ඇති වෙලා
නුඹට මගෙ කවි රළු වෙලා

පෙරදි සිනහව රහටමයි
රැවීමත් හරි මිහිරටයි
මුවින් මුව දැන් මුකුත් නොකියත්
දැනෙන්නේ නපුරට වගෙයි

මුලදි දුන් දේ සිහි වෙලා
නුඹෙ නඩත්තුව ඉල්ලනා
මටත් බැරි කොට දෙන්න බුහුමන්
ඔන්න හොදටම තද වෙලා
.
.
.
.
කවිය ඔහොමමයි
කාටත් එක වගෙයි
විටෙක නළවයි
විටෙක නිය පිට පහර දෙයි

- වැදුනොතින් හරි විසකුරුයි

නුඹට ගහනවා වාගේ
මගෙත් ගෙල මිරිකයි
නුඹේ මිහිරිය වාගෙයි
හරිම හිතුවක්කාරයි





Monday, March 3, 2014

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ... 10

ආයෙ මේ ගැන ලියන්නෙ නෑ කියලා පොරොන්දු වුණාට තව එකම එකක් මගෙ දිනපොතේ ලියවිලා තියෙනවා.. ඒකත් දාන්නම් මෙතනම.. එතනින් එහාට නිමි මේ කතාව...

10
අපි ආයෙත් හමු නොවී ඉමු..

හ්ම්ම් ඔවු...

මම සිම් එක මාරු කරනවා..

මාරු කරලා?

මේ අලුත් සිම් එක..

මට නම්බර් එක ඕනි..

ඔයාට කතා නොකර ඉන්න ඕනි හන්දා මෝඩියේ සිම් එක මාරු කරන්නෙ..

දෙන්න මෙහාට..මේකෙ පිටින් නම්බර් එකක් ලියලා නැද්ද ඔයාට හොරෙන් සේව් කර ගන්න...

මෝඩයා...ඔයාට බෑ මගෙ නම්බර් එක හොයා ගන්න..

කමක් නෑ..මට එපා...

මං හිතනවා ඒ නම්බර් එක ඔයාට වැඩක් වෙන එකක් නෑ කියලා..එහෙම නේද.?.ඒත් මාව ඕනි වුණොත් කොයි වෙලේ හරි?

මං අඩනවා හයියෙන්...

එහෙම ඕනි වුණොත් මගෙ පරණ සිම් එකට මැසේජ් එකක් දාන්න..හැමදාම සිම් එක බලන්නම්..

හා...

එහෙනම් අපි ආයෙ හම්බ වෙන්නෙ නෑ නේද..

නෑ හම්බෙන්නෙ නෑ...ඒක සමරමු..?

නියමයි..බොමු..? නැති වෙනකම් බොමු..?

මොනාද?

කෝක්...

-හොදටෝම හිනා අපිට-
මම ඔයාව ආයෙ දැක්කොත්.?

ඒ වෙලේම මට මිස් කෝල් එකක් තියන්න..මං හොයා ගන්නම් ඔයාවත්..

බෑ බෑ එහෙම බෑ..

අසාධාරණයි ඔයා...ඔයාට මාව පේනවා කොහේ හිටියත්...මම හෙවුවත් මට පේන්නෙ නෑ..හැංගෙනවා ඔයා..මේ අවුරුද්දටම ඔයාව දැක්කෙ 4 පාරක් විතරයි..ඒත් ඔයා හැමදාම මගෙ පස්සෙන් ඉදලා..

හි හි එහෙම තමයි...

මටත් ඕනි ඔයාව බලන්න..

ආයෙ මං ඔයාව නොබලා ඉන්නම්..

හ්ම්ම්...එහෙනම් මේ අන්තිම දවස නේ...

ඔවු...සමහර විට මම දිගටම මෙතනට ඒවි...මෙතන ගොඩක් නිස්කලංකයි...

හ්ම්ම්...මමත් එනවා හැම වෙලේම..ඔයාව බලන්න නම් නෙවෙයි..නිස්කලංක හන්දා...

ඒ ආවම අපි අපිව දකීවි..ඒත් ඔයා අර හරියෙන් ඉන්න..මම මෙහෙ ඈතින් ඉන්නම්...

හරි මට අත වනන්න ඈතට වෙලා..

හා බලමු...

ඒක නෙවෙයි...ඔයාට මතකද අද උදෙත් අපි කිවුවා ආයෙ හම්බ නොවී ඉමු කියලා..? ඊයෙත් ඒකම කිවුවා නේ...?

-හොදටෝම හිනා අපිට-



කොහොම
උනත්
මේ 
කතාවෙ
අයිතිකාර එවුන් 
ආයෙ
හමු වෙන්නෙ නම්
නෑ
සත්තයි...