Monday, August 31, 2015


ඈත සිට බැලුම්ලන සදවත
කඩුපුලෙත් හාදු පිනි තවරත
ඉතින් මගෙ හිත ගත්ත හිතවත
මේ තරම් දුරින් හිද පලනැත

අවාරේ පත් හැලුන ගසක්වුව
සුළං රැළි සමග පොර බදනු ඇත
රෑ බදුලු පුරාවත නිමාවුණ
රෑක නුඹ හිනා වී පලක් වෙද !

කැපෙන තැන් බිදෙන තැන් උගනිමි
සිරගතව නොයිද තව ඉගිලෙමි
සුළං රැළිවල හැපී ඉපිලෙමි
නම නොදත් ප්‍රේමයක මියයමි

වාචාල තරුකැලට වහන් වුණ
කවිකාර සදවතක් දැකගමි
පුරාතන කැපුම් තැන් පිරිමැද
සිහින් ස්වරයෙන් හෙමින් හිනැහෙමි

ඔව් ඉතින් ඒ "ඔබ" තමයි
ඔබේ හද මත අත තබා
හෙමි හෙමින් මුදු බසින් මුමුණමි...

Saturday, March 7, 2015

රිදෙන් ඇති බිත්තියට !


හිත බිමට වැටුණ වෙලාවක
හිස බිත්තියේ ගහගත්ත වේගෙට
රිදෙන් ඇති බිත්තියට හරි සැරට
දෙදරුම් කෑවෙ ඒ නිසයි උලුවස්ස

දුර්වර්ණ වී තිබුණ තැනෙකින්
හම ටිකක් ගැලවිලා වැටුණෙය
කලින්දා හම ගියපු තැනකින්
පතුරකුත් ගැළවිලා විසි විය

සුදු පාට බිත්තියේ පපුවෙන්
රතු පාට ලේ ගලන්නට විය

නෑ කමක් නෑ කියා ගෙන
හිනා වී ගෙනම උන්නාට බිත්තිය
වේදනා විදින් ඇති හරි තදට
දෙදරුම් කෑවෙ ඒ නිසයි උලුවස්ස...

Saturday, January 31, 2015

? තේමා දමන්නේ කොහොමද - අපිරිමිත ආදරයට ?

මවු පිය රූප හිත යට
සිය සිය වරක් සිප ගෙන
රත් පෑ අහස් හෙවනට
පිය පුතු ඉතින් නික්මිණ

සූරියකාන්ත මල -
පොළෝ තලයට
මුහුණ බර කර
සුබ පැතුම් පෝළිමේ
අන්තිම කොනට එක් විය

කාටත් හොරා හෙමිහිට
ඇස යට උනපු තෙත හිත
ඇසිපිය හෙළන වේගෙට
ඇසටම ආයෙ දියවෙත !

පියවරු හෙළන දහඩිය
ටොන් ගණන් එක්අහු කර
සදන්නට හැකිය ඒ එක කදුල

හී සරින් පලා ගෙන
එබුණොතින් නෙත යටට
කුසුමක් තියේවි ය එතැන
සුවදක් අරන් පුබුදින
අම්මා කෙනෙකුටම මිස
වෙනත් හිතකට නොතේරෙන...!

Monday, December 8, 2014

අට ලෝ දහම !


“රතු පාට”  “නිල් පාට”  “කහ පාට”
පෙති අතර
“කොළ පාට”
නැති වුණත්
දැකල තියෙනව නේද නුඹ
කොයි ගහෙත්
කොළපාට තියෙන වග ?

එතනිනුත් එහාට…

කොයි කොළෙත්
ඉදෙන කොට
රතු පාටට හැරෙන බව ?
මැලවෙන්න ළං වෙලා
කහ පාට ගන්න බව ?

අහයි ඔබ
“කෝ ඉතින් නිල් පාට”
හහ් හා
ඔය තියෙන්නෙ
පාට බෙදන
උඩම තැන
නිල් පාට…

අන්තිමට,
අහසත් හැරෙනවා
කොයි කොයි පාටටත්

සීරුවට - මාරුවට ! 










Sunday, October 26, 2014

වියෝගය



ගෙම්බා
                            න 
වතුරට    පැ
                                         ලා

සෑහෙන වෙලාවක්
ගියාට පස්සෙයි
මට
  “ජබුං”
සද්දෙ
ඇහුණෙ



Saturday, September 20, 2014

මට කලින් - නුඹ
නුඹට කලියෙන් මම
උනුන් හා තරගයට
අතහැරපු මල් පදුර

කොහෙන්දෝ පතිත වුණ
දගකාර බැල්මකින්
අහම්බෙන් පැළ වෙලා
මල් පිපුණ මල් පදුර

අතහැරපු දා ඉදන්
නියගයට අහු වුණත්
තාම දලු ලා නැගෙන
මල් පිපෙන මල් පදුර

කැලේටම වල් වැදිලා
දැන් හුගක් ලොකු වෙලා
ලාඩප්ප ගස් වැටිය
පහු කරන් උස් වෙලා
            ( අපි උන්නු කාලෙ නම්
               කප්පාදු කළ නිසා
               ඒ තරම් උසක් ගැන
               වගක්වත් තිබුණෙ නෑ )

පේනවද අග්ගිස්ස ?
ලාඩප්ප ගස් වැටියෙ
කොළ පාට උරා ගෙන
තරගයට වගෙ වැඩෙන
අතු දෙකක් තියෙන හැඩ
            දන්නවද ඒ කොනක
            සුදුම සුදු මල් දෙකක්
            තාම - අපි නැති වුණත්
            හැමදාම පිපෙන වග !

ප.ලි. -  

“කවුද බලමු ලෝකෙටම ඇහෙන්න ,
  මම උඹල හැමෝටම ආදරෙයි කියලා -
  මුලින්ම කෑ ගහන්නෙ ?”
  (නුඹ මගෙන් හැමදාම අහපු ප්‍රශ්නයක්)

මේ තමයි හරි කාලෙ
ලෝකෙටම ඇහෙන්නට
ඒ රහස කියන්නට !
            පෝර දිය නැති වුණත්
            අපේ ඒ මල් පදුර
            තවම මල් පුබුදුවන

            රහස එළි කරන්නට !

Monday, July 28, 2014


නිමිත්ත - මගේ පෞද්ගලික අත්දැකීම අනුව රත්නපුර මහ රෝහල යනු තම රෝගීන් අවසන් අඩිය වන තුරුත් වෙනත් රෝහලකට මාරු කර නොයවන තැනකි. පසුගියදා දේශපාලනඥයෙකු සම්බන්ධයෙන් එය ක්‍රියා කරනු ලැබුයේ ඊට හාත්පසින් වෙනස් ආකාරයකටය..

අහසත් බෙදන්නේ වැහි බිදු මැනලාය
සතියක් වුණත් ඉන්නේ උස් තැන්වලය
වතුරක් නැතුව වියලුණ බිම් දැක දැකම
ගැලුවත් ගලන්නේ ගං දිය මුහුදටය

කට රැක ගන්න දත විකුණන ලොක්කන්ය
රට තුළ සියලු සැප ආමිස ඔහුටමය
කුලියට ජීවිතය විකුණන මහතුන්ය
බෙහෙතක් වුණත් උන් ළගදී විරසකය

කකුලක් සීරිලා ගොඩ වුණ ලොකු තැනෙක
පැයකින් අගනුවර ඉහළම රෝහලෙක -
එතැනම ඇදක් උඩ සතියක් පණ ඇද්ද
සිවු දෙනෙකුගේ අප්පච්චී මියැදුණිය...













Saturday, July 26, 2014

සර්කස්


සතියක් දෙකක් එක නගරෙක
දිවිය උකස් වන්නා
එතැනින් නික්ම හෙට වෙනතක
කූඩාරම් ගසනා
සංගිලි පාලමට වැඩියි
හදවත වෙවුලන්නා
මල්ලියෙ නුඹෙ මූණ මැවී
හිතට රිදුම් දෙන්නා

          "ජීවිතෙත් කරණමකි - විසල් අහසට නැගෙන
           උඩට යන විට මුවින් - විසිල් හඩ එක් කෙරෙන
           ඉහළ නැංගා වගෙම - විසල් අහසින් බහින
           පහළ එන ක්ෂණයකින් - විසිල් හඩ මැකී යන"

ඉහළින් ඉහළ නැග ඔල්වරසන් මැද්දේ
දෙපයින් සිරුර සමබර කර නුඹ පැද්දේ
අතකින් අතක කඹයක කෙළවර පැටලේ
බයකින් මගේ ළය ලිස්සා හිත ගැස්සේ

පෙරදින ඔතැන ගිලිහී ගිය සිරුර ඇගේ
යන්තම්වත් මතක් නොවුණිද හිතට නුඹේ
වෙහෙසට පෙගුණ නුඹෙ ඇස් දෙක දකින වෙලේ
කොහොමින් ගසන්න ද අත්පුඩි කියන් මලේ... 

Saturday, July 12, 2014

යසෝදරාවක වන්නට නොහැක මට..

 

















ඉවුරේ කොනක ඔරු කද මත වාඩි ගෙන
පින්සර මුවේ හසරැල්ලක් තබා ගෙන
නිශ්චල නෙතින් දුර ඈතක බලා ගෙන
හිමියනි කොහේ යන්නද මේ උදෑසන

වනේ ඉන්න රුදු සතුරන් දුරස් වන
මනෝ රම්‍ය ඔය හිතමය නවාතැන
පෙමක් තිබෙයි මේ භවයෙත් සනාතන
සිනාවෙන්න මා දෙස නෙත් විදා ගෙන

හිත යට පුංචි රිදුමක් වෙද කියාපන්
නළලත සියුම් රැළි මා ළග ලිහාපන්
මෙගොඩහ ඉමේ මා තනිවම නොලාපන්
එගොඩට නොයම් යයි දිවුරා කියාපන්....!



Tuesday, June 3, 2014

වැහැපන් දිමිටි වතුරම...!

                     දැන් - දැන්

                         ද්    ද  -  ප
                රෙ                         ලා
         ඩ                                        ගෙ    
  කු                හිස් ගෙඩි මතට                න
                     වැටෙතැයි සිතෙන
                     මොර ගෙඩි

                    
                     හදවතත්  උ  ගු  ළු
                                                  වා
                                                ග
                                             න්
                                          න     
                                            ත  ත න න
                                            මොර ගෙඩි
                                            විසි කරන
                                            හුළං පොදි
_____________________

අහසක් පැලුව වැහි යට
අතකින් ඔලුව වහ ගෙන
වහලක් හොයන් දිව යන
හිස් පෙගුණ දැඩි පිරිමි ය

ඇදි වත ඇරන් දුර යන
හීතල - ගැහෙන පිනි මැද
නැවෙන - තෙරපෙන කුඩ යට
තෙත බරිත වුණ ගැහැනු ය

දෙදණක් උසය වට දිය
කාණු ඉස'ගින් දිව යන
ගගක් නැතිවත්  "ගං දිය"
ගලන හැටි මහ පුදුම ය

අක් වැහි - අසෙනි වැහි යට
දියබත් පොළව මතුපිට
දලුලා හෙමින් නැගැ එන
පීදෙන පුංචි මලෙකි ය

කාටත් පළමු - වහළෙක
තැනක් අල්ලන හිත මිස
පීදෙන පුංචි මල ළග
කිසි ඇසක් නැත දැවටෙන

අනාගත යම් දිනයෙක
ඒ පුංචි සරු දලුපත
මහ ගසක් වන තුරුවම
වැහැපන් දිමිටි වතුරම...!
                   
                                          

Friday, April 18, 2014


.
නැවුම් රස -
පැතුම් හා මුසු කර
වැටුණු අඹ ගෙඩියකට
තුඩින් ඇන
පල වෙත්ද...?









ඡායා - අන්තර්ජාලයෙන්

Sunday, March 23, 2014

පෙර - පසු

ළගට ආවට රහ වෙලා
ලිවුව වචනෙට හා වෙලා
වගෙයි දැන් නම් ඇති වෙලා
නුඹට මගෙ කවි රළු වෙලා

පෙරදි සිනහව රහටමයි
රැවීමත් හරි මිහිරටයි
මුවින් මුව දැන් මුකුත් නොකියත්
දැනෙන්නේ නපුරට වගෙයි

මුලදි දුන් දේ සිහි වෙලා
නුඹෙ නඩත්තුව ඉල්ලනා
මටත් බැරි කොට දෙන්න බුහුමන්
ඔන්න හොදටම තද වෙලා
.
.
.
.
කවිය ඔහොමමයි
කාටත් එක වගෙයි
විටෙක නළවයි
විටෙක නිය පිට පහර දෙයි

- වැදුනොතින් හරි විසකුරුයි

නුඹට ගහනවා වාගේ
මගෙත් ගෙල මිරිකයි
නුඹේ මිහිරිය වාගෙයි
හරිම හිතුවක්කාරයි





Monday, March 3, 2014

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ... 10

ආයෙ මේ ගැන ලියන්නෙ නෑ කියලා පොරොන්දු වුණාට තව එකම එකක් මගෙ දිනපොතේ ලියවිලා තියෙනවා.. ඒකත් දාන්නම් මෙතනම.. එතනින් එහාට නිමි මේ කතාව...

10
අපි ආයෙත් හමු නොවී ඉමු..

හ්ම්ම් ඔවු...

මම සිම් එක මාරු කරනවා..

මාරු කරලා?

මේ අලුත් සිම් එක..

මට නම්බර් එක ඕනි..

ඔයාට කතා නොකර ඉන්න ඕනි හන්දා මෝඩියේ සිම් එක මාරු කරන්නෙ..

දෙන්න මෙහාට..මේකෙ පිටින් නම්බර් එකක් ලියලා නැද්ද ඔයාට හොරෙන් සේව් කර ගන්න...

මෝඩයා...ඔයාට බෑ මගෙ නම්බර් එක හොයා ගන්න..

කමක් නෑ..මට එපා...

මං හිතනවා ඒ නම්බර් එක ඔයාට වැඩක් වෙන එකක් නෑ කියලා..එහෙම නේද.?.ඒත් මාව ඕනි වුණොත් කොයි වෙලේ හරි?

මං අඩනවා හයියෙන්...

එහෙම ඕනි වුණොත් මගෙ පරණ සිම් එකට මැසේජ් එකක් දාන්න..හැමදාම සිම් එක බලන්නම්..

හා...

එහෙනම් අපි ආයෙ හම්බ වෙන්නෙ නෑ නේද..

නෑ හම්බෙන්නෙ නෑ...ඒක සමරමු..?

නියමයි..බොමු..? නැති වෙනකම් බොමු..?

මොනාද?

කෝක්...

-හොදටෝම හිනා අපිට-
මම ඔයාව ආයෙ දැක්කොත්.?

ඒ වෙලේම මට මිස් කෝල් එකක් තියන්න..මං හොයා ගන්නම් ඔයාවත්..

බෑ බෑ එහෙම බෑ..

අසාධාරණයි ඔයා...ඔයාට මාව පේනවා කොහේ හිටියත්...මම හෙවුවත් මට පේන්නෙ නෑ..හැංගෙනවා ඔයා..මේ අවුරුද්දටම ඔයාව දැක්කෙ 4 පාරක් විතරයි..ඒත් ඔයා හැමදාම මගෙ පස්සෙන් ඉදලා..

හි හි එහෙම තමයි...

මටත් ඕනි ඔයාව බලන්න..

ආයෙ මං ඔයාව නොබලා ඉන්නම්..

හ්ම්ම්...එහෙනම් මේ අන්තිම දවස නේ...

ඔවු...සමහර විට මම දිගටම මෙතනට ඒවි...මෙතන ගොඩක් නිස්කලංකයි...

හ්ම්ම්...මමත් එනවා හැම වෙලේම..ඔයාව බලන්න නම් නෙවෙයි..නිස්කලංක හන්දා...

ඒ ආවම අපි අපිව දකීවි..ඒත් ඔයා අර හරියෙන් ඉන්න..මම මෙහෙ ඈතින් ඉන්නම්...

හරි මට අත වනන්න ඈතට වෙලා..

හා බලමු...

ඒක නෙවෙයි...ඔයාට මතකද අද උදෙත් අපි කිවුවා ආයෙ හම්බ නොවී ඉමු කියලා..? ඊයෙත් ඒකම කිවුවා නේ...?

-හොදටෝම හිනා අපිට-



කොහොම
උනත්
මේ 
කතාවෙ
අයිතිකාර එවුන් 
ආයෙ
හමු වෙන්නෙ නම්
නෑ
සත්තයි...

Monday, December 9, 2013

නුඹ වෙනුවෙන් ඉපදුන සිත...!


සංසාරේ හැමදාමත්
ළගින් ඉදන් බලන් ඉන්න
ඇයත් එක්ක යන පාරෙම
මටත් ටිකක් ඉඩ තියන්න..

අවිහිංසක ඇගෙ දෝතට
ආදරයෙන් ගෙනැවිත් දෙන
මල් පොකුරෙන් එක පෙත්තක්
මා ළගටත් විසි කරන්න..

ආදරයෙන් දොඩමලු වෙන
නුඹෙත් ඇගෙත් ලෝකය වෙත
හිනා වෙලා පෙම් බදින්න
ගොළු හදකට ඉඩක් දෙන්න..

නුඹ නමටම ඉපදුන සිත
නුඹ නමටම මියැදෙන දින
මදකට නැවතී මා ළග
සංසාරේ ගිම් නිවන්න...




Sunday, December 1, 2013

සීතලයි උදුවප්..!


උහුලන්න බැරි තරම්
සීතලයි උදුවප්

ඉපදුණ නිසා නෙවෙයි උඹ -
විසි හතර
ගොළු වුණ නිසයි මම -
සදහට...

කියවන කොට
මගේ කවි පෝලිම
දැනෙනවද උඹට රළු ගතිය
මතකයිද මන්දා
අන්තිමට මුදු වුණේ
මගේ හිත
දෙසැම්බර් මාසෙක වග

නපුරු ඇති මම!
නරක ඇති මම!
අහිංසක වුණ නිසා
ඉස්සරම දවසක...
පෑගෙන කොටත් දෙපයට
උන්නු නිසා හිනා වී ගෙන..
"වැරදීම" විසික් කර
පිස දා නොගත් නිසා
අත් දෙක..

දැනෙන්නෙත් නෑ ඇනුන වග -
පිහි තුඩග
උහුලන්න බැරි තරම්
සීතලම සීතලට
ගල් වෙලා හරි තදට
මුදු නෑ ඉතින් දැන් හිත!

මතකයිද මුල වචන ;
ඉපදුණ නිසා නෙවෙයි උඹ -
විසි හතර
ගොළු වුණ නිසා මම -
සදහට...

ගියා නම්
ගිය තැනක ඉන්නැතුව
රිද්දනවද මන්දා මම..!!
.
.
.
.
කොච්චර වුණත් තාමත්
රිදෙනවා මට
ඒ නිසයි ගෙතෙන්නේ
කදුළු හිම පත්තිරුව
සීතලම සීතල
දෙසැම්බර් මාසෙක...


Monday, November 18, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...

 9

"බනිනවා යාළුවෝ හොදටම"

"මොකටද?"

"ඔයාව හම්බ වෙනවට..."

"මටත්.."

"මම දන්නවා..."

"අපිට ඒ කාලෙත් කවුරුවත් හිටියෙ නෑ.. "

"අදත් නැහැ.."

"යාළුවො හැමදාම කරන්නෙ බනින එක විතරයි..අපි දෙන්නා විතරයි හැමදාම.."

"හ්ම්ම්..වැරැද්දක් කරන්නෙ අපි..."

"කවුරුවත් සමාව දෙන එකක් නෑ..ඒ දෙන්නවත් සමාව දෙන එකක් නෑ..."

"අපි අපිට සමාව දී ගමු.."

               -හොදටෝම හිනා අපිට-

"යන්න කලින් එක දෙයක්.."

"ම්ම්..?"

"පොරොන්දු වෙන්න.."

"මොකක්ද?"

"ආයෙම හම්බ වෙනවා කියලා.."

"කවදද?"

"ලබන ආත්මේ.."

"පොරොන්දු වෙනවා.."

"ඔහොම බෑ.. මෙහෙම ඉදුල් අත උඩින් ඔය ඉදුල් අත තියලා.."

"ඔයාට නම් පිස්සු.."

"ආයෙම බත් කටක් කවන්න එනකම් බලන් ඉන්නවා.."

"මම එනවා.."

"පොරොන්දු කැඩුවොත් පවු.."

"ඔයා දන්නවනෙ මගෙ පොරොන්දු රැකිල්ල.."

-හොදටෝම හිනා අපිට-



දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...

 8

"දෙන්න මගේ ලේන්සුව"

"මේසෙ දූවිලි..පිහදාන්නම්.."

"පිහදැම්මොත් බලාගමු.!"

"මුකක්ද?"

"දානවා ජනේලෙන් පල්ලට.!"

"ලේන්සුව?"

"නෑ ඔයාව"

"හා...පිහදැම්මා ඔන්න.."

"අන්න කළා..කවුරුවත් කරන් නෑ මට ඔහොම..තව ඇගිල්ලත් දික් කරනවා.."

"ඌයි"

"කඩනවා ඇගිල්ල"

"ආ"

"විසි කරනවා ලේන්සුව..එපා ආයෙම මට."

"තරහ ගිහින් ඔයාට..!
මෙන්න මගේ ලේන්සුව..පිහදානවා මුළු මේසෙම මම..ඒකෙත් දූවිලි දැන්..මේ..."

"දෙන්න ඕක මෙහාට"

"මොකටද?"

"තියා ගන්නවා මම"

"ඕක හෝදලා නෑ"

"එහෙනම් හොදයි"

"හඩ්ඩා"

"හඩ්ඩි"

"දෙන්න ඔයාගෙ එකත් මට..."

-හොදටෝම හිනා අපිට-







ඉන්නවා මම

ලයිබ්‍රියේ අන්තිම පේළියේ
තාමත්
දැනෙන කොට වෙහෙස
ජීවිතයට
හිනා වෙනවා තනියම
එතන නැවතුන
අපේ ආත්මත්
එක්ක...



Sunday, November 17, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...

 7

"යන්න කලින් එක දෙයක්.."

"මොකක්ද?"

"මේ ඔරලෝසුව මගෙ අතේ බදින්න.."

"ඔරලෝසුව නෙවෙයි මේ රාබිය..ඔයාට ගෙනාවෙ.."

"මට?"

"ඔහොම බලන්නෙ නැතුව අත දෙන්න මෙහාට.."

"දකියි ඔයාගෙ යාළුවො.."

"කමක් නෑ.."

"කමක් නෑ?"

"දැන් මම බය නෑ ජීවිතේට.."

"ගොඩක් වෙනස් වෙලා?"

"ඔව්..මම දැන් ස්වාධීනයි..කාටවත් දෙන්නෙ නෑ මාව පාලනය කරන්න.."

"ඒත් ඔයාට හොද නෑ"

"ඔයා බයයි..බයගුල්ලා..උදවු වෙන්න මේක ගැට ගහන්න.."

"ආයෙ ගැළවෙන්නෙ නැති වෙන්නම බදින්න.."

"මම දන්නවා ගළවන්නෙ නැති බව.."

"තදට බදින්න..දවසක ගළවන්න ඕනි වුණත් ගළවන්න බැරි තරමට තදට බදින්න.."

"එයා ගළවයි මේක.."

"නෑ..ගැළෙවුවොත් මම..වැඩි පරිස්සමට සාක්කුවට දා ගන්න.."

-හිනා හොදටෝම අපිට-

 
පෙම්වත,
තියා ගන්න රාබිය
ඇයත් එක්ක හමු වුණොත්
දවසක
නලවන්න මගේ සිත
මට පෙනෙන්නට
අද වගේම ආදරෙන්
තියා ගන්න
මගේ රාබිය..


දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ....


 6

 "ඔන්න කදුළු"

"ඒ හිනා වෙලා"

"ඔයාගෙ බොරු හිනාව..හංගන්න බෑ ඔය හිත.."

"පිස්සු ඔයාට"

"හිනා වෙන්න එපා බොරුවට"

"හිනා වෙනවා මං හැමදාම"

"අඩනවට වඩා හිනා වෙන කොට රිදෙනවා ගොඩක්"

"ඒ කොහොමද?"

"හංගන්න බෑ ඔයාට කිසි දෙයක්"

"මෝඩයා"

"හ්ම් පිළිගන්නවා..මම මෝඩයි.."

"අන්න දැක්කද? මම කිවුවනේ ඒ කාලෙත්..
ඔයා පළවෙනි වතාවට මට පරාද වුණා..සමරන්න ඕනි ඒක නම්.."

"මෝඩයි මම..ගොඩක් මෝඩයි.. දැනන් හිටියෙ නෑ මේ තරම් ආදරයක් තිබුණ වග.."

"එහෙම කියන්න එපා"

"මෝඩයි ඔයත්..කිවුවෙ නෑ මට කිසි දෙයක්.."

"හ්ම්...මමයි වැරදි..."

"නෑ මම..."

"අපි දෙන්නම.."

"ඔවු දෙන්නම වැරදි..දෙන්නම මෝඩයි.."

"මතකද ඉස්සර ඔයාට මෝඩයා කියද්දි කේන්ති යනවා? හොදටම බැන්නා දවසක් මට...!!"

-හොදටෝම හිනා අපිට-



දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...

5

"පටන් අරන් ද?"

"නෑ තාම"

"ලයිබ්‍රිය ගාව ඉදන් බලන් හිටියා ඔයා යනකම්ම"

"මට හිතුණා කොතන හරි බලා ගෙන ඇති කියලා"

"එදා cls ගියා වගේ.."

"ඔව්..මට මතක් වුණා ඒක..හොරෙන්ම පස්සෙන් ඇවිත් cls එකට යනකම්ම බලන් හිටියා නේද?"

"හ්ම්ම්.."

"ඔයාට නම් පිස්සු..හැමදාමත් එහෙමයි.."

"වෙනස් වෙන්නෙ නෑ"

"පණ්ඩිතයි හොදටම..."

-හොදටෝම හිනා අපිට-


කොතන හිටියත්
දැනෙනවා මට
බලාගෙන කියලා
මගෙ දිහා...