Tuesday, February 5, 2013

විවාහයට හසු නොවූ ආදරය...


 
(ආදරය වෙනුවෙන් ජීවිත බිලි නොදී දෙපසකට වූ නමුත් වෛරයට ආදරය පාවා නොදී ස්වකීය ආත්ම‍ය පුරාවට ප්‍රේමය වගුරුවාලන සියලු හදවත්වලට උපහාරයක් වේවා)

වලාකුළු මතින් මිදී ඇද හැලෙන මහා වර්ෂාවකට උරුම මහ පොළවය. ‍නැතහොත් තෙරක් නොපෙ‍නෙන මහා සාගරය ය. වර්ෂා තොමෝ මහ පොළවටත් මහා සාගරයටත් පෙම් බදින්නී ය. එනමුත් නිහඩ වලාකුළු මත තම සෙනෙහස නොරදවන්නී යයි කිව හැකිද? 
ඕ වලාවෙහි නොරැදී මහ පොළව වෙත ඇද හැලුනේ සෞභාග්‍යය උදා කරලීමේ උදාර අරමුණ සාක්ෂාත් කරලීමටය. සකල සත්ත්වයාගේ යහපත උදෙසාය. අවසාන වශයෙන් තමා ලද ජීවයෙන් උපරිම වූ පල නෙලා ගැනීම් වස්ය.

අවසානයක් නොදකින අනන්තයකට ඇදී යන මන්ද මාරුතයට උරුම ආකාශය ය. නැතහොත් විශ්වය ය. මන්ද මාරුතය මේ සියල්ලකටම පෙම් බදින්නීය. එනමුත් ඕ තමාට අතර මගකදී හමුවූ පුංචි මල් කැකුළකට ‍පෙමින් නොවෙලුනේ යයි කිව හැකිද?
ඕ සිත් ගත් මල් කැකුළ අස රැදී නොසිට විශ්වය පුරා හමා ඇදුනේ සකල ලෝකයාට සිසිල බෙදා දීමේ උදාර පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම් වස්ය. තම ජීවය ලොවට බෙදා දිය යුතුය යන ස්ථිර අධිෂ්ඨානය නිසාවෙන්ම ය.

මහා වර්ෂාවත් මන්ද මාරුතයත් ප්‍රේමය වින්දෝය. විදින්නෝය. නමුත් ප්‍රේමය නිසා තම උදාර වූ පරමාර්ථ අළු දූලි කොට නොදැමුවෝය. ගමන අතර මගක නතර කර නොදමා තම ජීවයෙන් උපරිම පල නෙලා ගත්තෝ ය.
එනිසා ඔවුන්ට ප්‍රේමයේ විදවීම නොව වින්දන පක්ෂයම ත්‍යාග විය.

වර්ෂා තොමෝ වලා සෙවණට බැදි ප්‍රේමයෙන් මහ පොළවට ඇද හැලීම ප්‍රතික්ෂේප කෙරිණි නම් සත්ත්වයාට වර්ෂාවෙහි සුව නොලැබ යන්නේය. එපමණකුදු නොව ඇයට වර්ෂා යන නාමය අහිමිව සිය ආත්මගත වූ
අනන්‍යතාව අහිමි වන්නේය. වලාවන්ට ද ස්වකීය උරුම පැහැය අහිමිව යන්නේ ය. වර්ෂා තොමෝ වලා යහන ස්වජීවන නැවතුම බවට පත් නොකර ඇද හැලෙනුයේ එබැවිනි.
වර්ෂා තොමෝ වලා කුමරුටත් වලා තෙමේ වර්ෂා කුමරියටත් ගර්හා නොකොට සෙනෙහස බෙදා ගත් අයුරු අගනේය.
එවන් සෙනෙහසක් විෂය වන්නේ විරාගී හදවතකට පමණක්ම ය. සොබා දහම ඔවුනට ආසිරි ගී පතුරුවනු ඇත.

උදාර හදවතක උපදින සෙනෙහස ආත්ම අර්ථයකට පමණක් සීමා නොවන්නේය. ඇතැම් විටක එවන් සෙනෙහසක් විවාහ බන්ධනයකට හසු නොවන්නටද හේතු වන්නේ එකී කරුණමය.

ප්‍රේමය නෙතට නොපෙනෙන සමට නොදැනෙන ඇතැම් විටෙක  සිතට ද නොහැගෙන නමුත් ආත්මයට පමණක්ම විෂය වන බරසාර තේමාවක් වන්නේ ද එබැවින් ය.....






36 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  2. සිදුහත් කුමරු යසෝදරාව තනිකොට ගිහිගෙය හැර යාම මෙසේ සාධාරණ කල හැකියි. නමුත් හැම වෙන් වීමක්ම මෙහෙම හිතල සාධාරණයි කියන්න මම නම් කැමති නෑ. යන අය ගොඩක් යන්නෙ තමුන් ගැන හිතල මිසක් අනුන් ගැන හිතල නෙමෙයිනේ.

    ReplyDelete
    Replies
    1. දෙපැත්තටම සාධාරණ හේතු තියෙන්න පුලුවනි නේ දේශ්... සමහර දේවල් වලට ඔයා කියන එක හරි කියලා මමත් පිළිගන්නවා..:)

      Delete
  3. ලවුනං....
    අනේමංදා..

    ReplyDelete
  4. නොයෙක් හේතු නිසා විවාහයේ කඩ ඉම දක්වා නොඑන ප්‍රේමයන් තියනවා.

    ReplyDelete
  5. බොහොමයක් ආදර කතා විවාහයෙන් කෙලවර වෙන්නෙ නෑ. නමුත් මියයන තුරා ආදරෙන් බැඳෙන අය ඕනෙ තරම් ඉන්නවා. අදයි නංගියෙ මේ පැත්තෙ ආවෙ. ඔයාට ජයම පතනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි චන්දි අක්කේ... ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාව..
      විවාහ නොවුනට ආදරේ මිය යන් නෑ මම හිතන්නෙ..:)

      Delete
  6. මට දිරවගන්න අමාරුයි ....

    ReplyDelete
  7. "සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවෙති
    එක්වන්නවුන් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවෙති"
    ඔහොම කියපු මොකෙක්ද එහෙකුත් හිටියලුනෙ නේද පොර එහෙම කියල තියෙන්නෙ ඉතින් ඈතට ඇපල් ලගට පැපොල් කියල අපි කියන එකම තමයි...
    භාශාවනම් නියමයි හරියට රුසියන් පරිවර්තනයක් කියෝනව වගේ මට මතක් උනේ චිංගීස් අයිතමාතිව්ගෙ මිහිකත සහ අම්මා...
    ආ තව එකක් අපිට භෞතික විද්‍යාව උගන්නපු ගුරුතුමානම් ආදරය අර්ත දැක්වුවෙ මෙහෙමයි
    "Aගේ සතුට Bගේ සතුටට හේතුවන්නේනම් B,Aට ආදරය කරන්නේයැයි ආදරය අර්තදැක්වේ"
    ඕං ඔහොමයි කිව්වෙ සෑහෙන දුරට හරි වගේ Aගේ දුක Bගේ දුකටත් හේතුවෙනව කිවුවනම් තවත් හරි වගේ මට හිතෙන්නනෙ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සම්පත්... :)
      හි හි අයියෝ භෞතික විද්‍යාව..:O (ඈතට ඇපල් ලගට පැපොල් ඒකත් මට නම්)

      Delete
  8. හැම වෙලාවෙම ආදරයක් විවාහයෙන් කෙළවර වන්නේ නෑ.. නොයෙකුත් හේතු මත සම්බන්ධතාවයන් අතරමග නවතිනවා... ඇත්තටම ආදරය කරන අයට වෙන් වෙන්න ගොඩක් අමාරුයි.. සමහර අය තමන් ගැන විතරක් හිතලා තමන්ගේ පෙම්වතා පෙම්වතිය අමතක කරනවා... එතන සැබෑ ආදරයක් නෑ.. තියෙන්නේ ආත්මාර්ථකාමීත්වය විතරයි.. සමහර පෙම්වතුන් පණ වගේ ගොඩක් ආදරෙන් ඉන්නවා.. ඒත් ගෙවල් වල අකමැත්ත නිසා හෝ හඳහන් වල නොගැළපීම මත අකමැත්තෙන් උනත් වෙන් වෙනවා... එවැනි දේවල් නිසා දෙන්නෙක් වෙන් වීම නම් ගොඩක් දුක්බරයි...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත උදයංග... මම එකගයි.. :)

      Delete
  9. පුංචි මල් කැකුළක් මන්ද මාරුතයකට පෙම් බැන්දේය... අවසන සියල්ල උදුරගෙන යන්නට ඉඩ දෙන්නට සිතා මල් කැකුළ ඒ පෙමින් එකපාර්ශවියව ආතුර වු සඳ මාරුතය ඒ මල් කැකුළ ලඟින් හමා ගියේය. දිනක් මල් කැකුළ පාමුළ මලටම පෙම් බැදි ගල් කැටයක් කියු ලෙස ඒ මල් කැකුළ ඒ මාරුතය පාමුල සුනු විසුණුව ඈත මන්දාරමේ ගහාගෙන ගොස් තිබිණි.
    ගඟක් දිනයක් පත්ලෙම වු පබළු ගල් කැටයක් වෙත ආදරයෙන් උන්නාය. ඒ පුංචිම පුංචි පබළුව දිනක් මහ වැසි නිසා පිරුණු ගං දිය එක්ක මුසු වි ගියේ ගං හිත් පත්ල හුරාගෙනය. ගඟ දෙගොඩ තලා හැඩුවාය. මහ මුහුද පුරා සෙව්වා වි නමුත් අවසන පුංචි පබළු ගල් කැටය මුහුදු පත්ලේ බෙල්ලෙකුගේ සිරකාරයක්ව උන්නාය.. ගඟ එදත් මහ හුඟාක් හැඩුවාය.

    ආදරේ එහෙමය. හැමදාමත් එහෙමමය. ‍සද මානවිකාවන් දහඩිය හලන පොලවේ කුමරුන් දෙසත් පොළවේ මල් කුමරියන් අහසේ හිරු කුමාරයන් දෙසත් හෙළන ආදර කතා එහෙමමය. සමාන්තර අය අතර ඇත්තේ ‍යෝජිත විවාහ විතරක් දෝ කියා සිතේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.....
      //සමාන්තර අය අතර ඇත්තේ ‍යෝජිත විවාහ විතරක් දෝ කියා සිතේ. // මේක නම් සැරට දැනුනා PM... ඒක ඇත්තද කියලා මටත් දැනිලා තියෙනවා... :)
      ඔයාගෙ කමෙන්ටුව ලස්සනයි...

      Delete
  10. අනේ මන්ද ඉතිං ලවු ගැනනම් :/
    ගෙඩිය කාපු දවසටම කියන්නම් ..:D

    ReplyDelete
    Replies
    1. ආ විභෂ්.... අපි අහ ගන්නම්කො ඒ ගැන දැනුන දවසට...:)

      Delete
  11. විවාහයට හසු නොවේද ආදරය..?

    වලාවකට පෙම් බැඳී
    වැසි කුමරිය එය විඳී
    නමුදු වලා හැර යන්නට
    වන බව දැන සමු දුනී

    මලේ හැඩට සිත් බැඳී
    සුළං කුමරු පෙම් බැඳී
    නමුදු එ මල හැර යන්නට
    වන බව දැන ඉගිලුනී

    හාද වෙන්න බැරි බැරී
    අය සමගම බැඳි බැඳී
    කුමට මෙලෙස සිත තලයිද
    හැම තිස්සෙම තැවි තැවී

    සිසිල සුවය පහස දී
    මහ පොළොවට වැඩ සැදී
    සුළඟ වගෙම වැසි කුමරිය
    එකම මගක යන මෙනී

    වැසි කුමරිය නලවලා
    ඈ වටාම දැවටිලා
    සුළං කුමරු සෙනේ පායි
    දඟ කර පෙම් ඉඟි ලලා

    සුළඟ සමග හාද වී
    යන තැන එකටම ඉඳී
    වැසි කුමරිය සිහින් හඬින්
    මුමුණයි සුළඟේ එතී

    සුළඟ සමග වැසි ලඳා
    සතුටින් දෑඟිලි බැඳා
    හැකි නොවේද එකතු වෙන්න
    කදිමට ගැලපෙයි සදා :D

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් අමතක වෙනව කියන්න හිටපුව :D

      සෑහෙන්න හිතුව..උපමා ගැන,ලියල තියෙන විදිය ගැන නම් කියන්න වචන නෑ..නියමයි ආ :)
      මෙහෙම බරසාර දෙයක් ගැන එහෙම කියල මදි වගෙ :p
      මේක මානව සම්බන්ධතාවන්හි ඉතා සංකීර්ණ වූ මානසික අවස්ථාවක් ගැන කළ මරු විමසුමක් :D

      Delete
    2. ඉසුරු.... ලස්සන කමෙන්ටුවක්....ඒත් කවියෙන්ම උත්තර දෙන්න වෙලාව මදි වගේ..

      //හාද වෙන්න බැරි බැරී
      අය සමගම බැඳි බැඳී
      කුමට මෙලෙස සිත තලයිද
      හැම තිස්සෙම තැවි තැවී// මෙහෙම කිවුවොත් පිළිගනීද මන්දා..
      මුලින්ම හදවතේ බැදීමක් ඉපදෙන්නෙ සමාජ තත්වයන් හා ගැලපීම් හොයලා බලලා නෙවෙයි..ඒක කොහොම ඉපදෙනව ද නැති‍ වෙලා යනව ද දන් නෑ..(ඒ බැදීම සමාජයට අනුගත කරලා ඉස්මතු කරන්න යන තැනදි තමයි අර දේවල් වැදගත් වෙන්නෙ..) ඉතින් සමාජ තත්වයෙන් ගැලපෙන කෙනෙක්ටම බැදියන් කියලා හදවතට අණ දෙන එක අසාධාරණයි වගේ නේ?

      ස්තූතියි කමෙන්ටුවට.... :)

      Delete
    3. හදවතකුයි බුද්ධියකුයි කියල දෙකක් තියෙන්නෙ ඕකටලු නේ,මටත් ඉතින් ඕව පාවිච්චි කරන්න ඕනි විදිය නම් හරියටම තෙරෙන්නෙ නෑ :D

      Delete
  12. ලව් ගැන කියන්න දෙයක් නෑ බන්...හරිගියොත් ගොඩ...නැතිවුනොත් අනාථයි...

    ReplyDelete
    Replies
    1. හි හි ඔන්න සිරා කෙටියෙන්ම කියලා දැම්මා.... :D

      Delete
  13. හ්ම් හ්ම්... ඕව ගැන කියන්ට දෙයක් මගේ ළඟ නෑ අෆ්ෆා... :D

    ReplyDelete
    Replies
    1. හි හි සුපුන් මල්ලි තව ලොකු වෙන්නකො...එතකොට අපිට වඩා මේ ගැන කතා කරයි... :D

      Delete
  14. සාජා ඇත්තටම මේ කතාව නියමයි ඔයටනම් හිතුනේ කොහොමද මන්ද :D
    හැබැයි මටනම් අත්දැකීමක් තියනවා :)
    කතාව ඇත්ත.
    මේ මම fb දාපු note එකක්
    සොඳුරු පිවිසුමක

    ඇරබුමේ.. සොදුර

    අපූරු සිහිනයක

    කිමිදුනා.. සොදුර



    පිවිතුරු හදවතින්

    පිරිසිදු සෙනහසින්

    නිරතුරු මා ලගින්

    නොසෙල්වී ආදරෙන්



    ඔබ ආ ගමන් මග



    ඔබට නොදැනුනාට

    ඔබට නොහැගුනාට

    වැටහුනා සොදුර..



    සොඳුරු පිවිසුමක

    ඇරබුමේ.. සොදුර

    අපූරු සිහිනයක

    කිමිදුනා.. සොදුර



    අවසනක් නැත අපට

    ඉඩ දෙමු බලාපොරොත්තුවට

    එන ආත්ම භවයටම



    ස්තූති වේවා නුඹට

    නුඹේ පිවිතුරු ආදරයට



    සොඳුරු පිවිසුමක

    ඇරබුමේ.. සොදුර

    අපූරු සිහිනයක

    කිමිදුනා.. සොදුර

    මේ ඔබටමයි සොදුර...

    ReplyDelete
  15. "ආදරය, ජීවිතය හමුවේ යථාර්තවාදී සර්වකාලීන සත්‍යයක් වන්නට නම් දෙදෙනාම එක්ව, එහෙත් වෙන් වෙන්ව ස්වකීය මුදුන් මූලයන් සවිමත් කර ගනිමින් අතුපතර විහිදාගත් මහා වෘක්ෂයෝ විය යුත්තාහ. එවිට යැපුම් මානසිකත්වයකින් ඇතිවන භීතිය වෙනුවට පුළුල් වූත්, නිවහල් වූත් ආදරණීය සහ ගැඹුරු ජීවන වින්දනයක් අත් වන්නේය." ~මහේෂ්~

    ReplyDelete
  16. ආදරේ අරුණැල්ල නැගී එන විටදි හද
    මියැදෙන්න සෙනෙහසට ඉල්ලන්න එපා අද
    අඩවන්ව නෙත් යුගලෙ කදුලු බිදු රැදෙන විට
    ඔබ ඉන්න මා ලගම දුර යන්න එපා මග…

    දුටු නමුදු සෙනෙහසක් ඔබ දෑස තුලින් මා
    සගවන්න එපා එය ලොවෙහි ජීවත්වන තුරා
    ආදරේ ගැඹුර මම ඔබ අසල ඇති තුරා
    ඔබේ මුව දැක්වීම කිමද පවසනු පමා….

    පැවසුවෙමි ආදරය නොසගවා එක් දිනෙක
    සැගවෙච්ච ආදරයෙ හද මඩලෙ කොන් සතර
    පවසන්න අපහසුද අන් අයට පෙම් පුවත
    ලොවේ දන හට බයේ හද ගොලුව අසරණව !!!

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. සාජා ඉතින් එදා ඉදන්ම සිතිවිලි ගඟුලක්නේ...
    ගඟකට මේ තරම් වතුර කොහෙන්දෝ කියලා අහන එක නිකම් විහිලුවක්..
    ගොඩක් ලස්සනයි...ගොඩාක්..........තව ලියන්න........මම අද තමයි කියෙව්වේ
    නියමායි.....සුබ පතනවා ඔයාට..කෙල්ල දියුණු වෙලා..ආදරේ ගැන ගොඩාක් දන්නවා වගේ..

    ReplyDelete