Tuesday, March 26, 2013

අභාග්‍යය නම් අහිමි වීමම නොව.. හිමිකම නොදැනීම යි..

පොළව තව නොදන්නී
මල් යායේ හිමිකාරි
ඇයම වග...

අහස තව නොදන්නේ
දේදුන්නේ අයිතිය
ඔහුට වග..

බලා හිදින්නෝ
දෙපස සිට,

රැගෙන යන තුරා
මල් යායත්..

මැකී යන තුරා
දේදුන්නත්...



Saturday, March 23, 2013

ඉතින් අපි සමු ගනිමු...

මගේම ආදර චූටි පැටවුන්ට,

                 විභාගෙත් ඉවර කරලා ගෙදරට වෙලා හිටපු දවස් ටිකේ මම අප්පච්චිගෙ 6 වසරෙ ගණිත පන්තියට උදවු කරන්න ගියා. පුංචි උන්ගෙ ලෝකෙට ආදරේ කරන මගේ හදවත සමනල ලෝකෙ තාලෙට නැලවෙනවා. පුංචි සමනල පැටවුන්ගෙන් මම විදින්නෙ මගේම පුංචි කාලෙ. හැම පුංචි ඇස් දෙකක ම මගේ අතීතය ලියවිලා තියෙන හැටි මට පේනවා. මම විදිනවා..
                    ඒත් මගේ පැටවුනේ දැන් නම් මට උඹලාව දාලා යන්න කාලෙ ඇවිත්. ඔයාලා වගේම මමත් තාම ඉගෙන ගන්නවා. ඔයාලාට වගේම මටත් තව හුගාක් දුර යන්න තියෙනවා.අපි මෙහෙම සමු ගනිමු.ඒත් ඊට කලින් උඹලාට කියන්න දෙයක් හදවතේ ගුලි වෙලා තියෙනවා....
                      හසිත පැටියෝ ඔයා තමයි මගෙ හදවතට ළං වුණ චූටි පැටියා. ඔයාව මට මතක හිටියෙ චූටි කට හඩේ සද්දෙ නිසා. "මොකද අනේ ඔය තරමට සද්දෙ" කියලා දවසක් මං හීනියට ඇහුවම ඔයා මගෙ කන ගාවින්ම කෑ ගැහුවා නේද චූටි පැටියෝ. හරිම දග මල්ලක් ඔයා නම්. මගේ චූටි පැටියා ගෙදර ගිහින්  ඔයාගෙ අක්කට සැර දැම්මලු නේද මට අක්කා නොකියා මිස් කියන්න කියලා.. ඔයත් එක්ක මගෙ හදවතට තියෙන්නෙ පුදුමාකාර බැදීමක්. ඔයා හරි හරියට ගණන් හදන කොට මගෙ හිත සතුටින් උදම් වෙන විදියයි හීනියට හිතුවක්කාර වෙන කොට හඩා වැටෙන විදියයි ආදරේ පිරිලා ඉතිරෙන හදවතයි ඔය දගකාර අහිංසක හදවතට පේන්නෙ නෑ. මගෙ පැටියෝ දග වුණාට කමක් නැහැ. ඔය හුරතල් දගකාරකම  ඔහොමම තියා ගන්න. ඒත් ඔයා හොද ලොකු මහත්ත‍යෙක්  වෙන්න ඕනි. ඔයාගෙ ඔය කට හඩින් ලෝකයක්ම පාලනය කරන්න පුලුවන්. හදවතක් තියෙන නායකයෙක් වෙන්න චූටි පැටියෝ. එදාට මගෙ ඇස් දෙකත් සතුටු කදුලුවල සුන්දරත්වය විදීවි..
                     මට හිතෙන්නෙ මට වැඩියෙන්ම ඇදරේ කරන්නෙ ඔයයි රෙහාන් පැටියෝ. පන්ති‍ය අන්තිම වෙන කොට මගෙ ඉස්සරහට ඇවිත් ඔයා ඊළග දවසෙත්  එන්න කියලා මට අණ කරන හැ‍ඩකාර සමනල පැටියා තමයි ඔයා. රෙහාන් කියන්නෙ පන්තියේදි හැම දේටම දක්ෂ කෙනෙක්.කිසිම බේදයක් නැතුව හැමෝටම උදව් කරන ඔයාගෙ ඔය ගතිගුණවලට මම හුගක් ආදරෙයි පැටියෝ. පිටිපස්සෙ පේලියේ වුණත් ඉන්න ළමයෙක් ගණන් වැරදියට හැදුවොත් එයාට ටොකුත් ඇනලා පාඩම කියලා දීලා ඒත් අහන්නෙ නැත්නම් මටත් රපෝර්තු කරලා තමයි ඔයා නවතින්නෙ. මගෙ පැටියෝ ඔයා ලොකු මහත්තයෙක් වෙනවා දවසක. ඔය මනුස්සකම හැමදාම හදවතේ තියා ගන්න. මුලු ලෝකෙම ඔයාට ආදරේ කරයි.
               දුන්න ගණන් ඉක්මනටම හදලා ගෑනු ළමයි එක්ක රණ්ඩු කරන මගේ සහන් පැටියෝ හුරතල්ම රූපයක් තියෙන කෙනෙක් ඔයා. අනික් අය ඔයාට එක එක නම් කිව්වාට කේන්ති ගන්න එපා. හැමෝම ඔයාගෙ යාලුවො නෙ. තමන්ගෙ පාඩුවේ වැඩ ටික කර ගන්න හුගක් දක්ෂ පැටියෙක් ඔයා. සහන්ගෙ සිංහල ටීචත් මං වගේමයි කියලා දවසක් හුරතලේට හිනා වුණ හැටි මට මතකයි. ඔයා දවසක හුගක් කඩවසම් දක්ෂ හොද මහත්තයෙක් වේවි. හැබැයි මගෙ චූටි පැටියෝ ලොකු වෙන කොට ගෑනු ළමයින් ගෙන් පරිස්සම් වෙන්න ඕනි හොදේ..
          ඔලිත ‍මගෙ පැටියෝ මං මුලින්ම පන්තියට එන කොට කම්මැලි කමට ගණන් හදන් නැතුව හිටිය ඔයා දැන් හැමෝටම කලින් ගණන් හදලා මට පෙන්නනවා. මගෙ හොද පැටියො ඔයාගෙ ඔය හීනියට තියෙන හිතුවක්කාරකමත් පොඩ්ඩක් අඩු කර ගමු නේද. මං දන්නවා ඔයා සමහර දගකාර කම් කරන්නෙ මගේ අවධානෙ ගන්න කියලා. ඒත් පැටියො මං තවත් පැටවුන්ගෙ පොත් බලනවානෙ. අපි පොඩ්ඩක් හැමෝම ගැන හිතන්න පුරුදු වෙමු මගෙ පැටියො. දග කළාට ඔයාට ගොඩක් අහිංසක හදවතක් තියෙන්නෙ.
      හැමදාම පන්තියෙ කෙළවරක ඉදගන්න ඔයාගෙ නම නම් මට හරියට ම මතක නෑ පැටියෝ. ගණිතය අමාරු වුණාට කමක් නැහැ. ඒත් ඔය උත්සාහය නම් අතාරින්න එපා. අල්ල ගන්න අමාරු වුණත් ඔයා අතාරින්නෙ නැතුව හරි හරියට වැඩ කරන හැටි දකින කොට හරිම ආඩම්බරයක් දැනෙන්නෙ.
                ඔසදි මගේ බෝනික්කි. හරිම දක්ෂ හුරතල් බෝනික්කියක් ඔයා. හදවත නවතින තරමට මං ඔයා‍ගෙ හුරතලේට දක්ෂකමට හිනාවට ආදරෙයි මගෙ පැටියෝ. ඔයත් දවසක මනුස්සකම පිරිලා ඉතිරිලා ගිය හොද නෝනා කෙනෙක් වෙනවා. මට නම් ඔයාගෙ ඇස්වලින් පේන්නෙ දොස්තර ‍නෝනා කෙනෙක්ව. මගෙ පැටියෝ මොන දේ කළත් හැමදාම මනුස්ස හදවත්වල ආදරේ පුරවන්න. ඔයාට වරදින්නෙ නෑ..
           චමදි ඔයත් මගෙ බෝනිකි පැටියෙක්.ඔය හිනාවට මාව වලාකුළක් වගේ සැහැල්ලු වෙනවා. මගේ චමදි චූටි හොර කෙල්ලක් වෙලා විභාගෙ දවසෙ යාලුවගෙන් උත්තර ඇහුවා නේද. ඒ වෙලාවෙ මං මගේ බෝනික්කිව ළගින් තියා ගෙන හදවතින් බදා ගෙන අතින් ඔලුව අත ගගා මගෙ පැටියා ආයෙ එහෙම කරන්න එපා කිව්වා. එදා හවස ඔයා මගෙ ළග දණ ගැහුවෙ මූණෙ හිනාව පුරව ගෙන ආයෙ වැරදි කරන් නෑ කියලා ඇස් දෙකෙන් කියන ගමන්. මගේ බෝනික්කි අවංකයි කියලා මං විශ්වාස කරනවා පැටියෝ. ඔයාගෙ මූණෙ ඒ අවංක කම ලියවිලා තියෙනවා. ලස්සනම ලස්සන චූටි බබෙක් ඔයත්.
          මම පන්තියට ඇවිත් ටික දවසක් ගියාම පන්තියට ආපු චූටි ප්ලම් කැකුළ ඔයාගෙ නම මතක නැතත් මට ඔයාව මතක් වෙනවා. මම සති දෙකක පුහුණුවට ගිහින් ආයෙ එන කොට ඔයා පන්තිය දාලා ගිහින්. පැටියො ඔයා ගියේ ඇයි කියලා මම දන්නවා. ඔයාට හරිම ලස්සන ඇස් දෙකක් දීලා තිබුණත් දෙවියන්ගෙ අතින් මොකක්දෝ අඩුවක් වෙලා තිබුණා. ඔයා එක්ක වැඩ කරපු මුල් දවසෙම මට ඒක දැණුන හන්දා තමයි ඔයාගෙ ගාවටම වෙලා ගණන් හදන්න උදව් කළේ. මගෙ චූටි පැටියා කොතන හිටියත් ඔය තියෙන අහිංසක කම පිවිතුරු හිත හැමදාම තියා ගන්න පැටියෝ. කනට ඇහෙන්න කතා කරන්නැති ඔයා ගෙදර ගිහින් මං ගැන කිව්වා කියලා ඔයාගෙ අම්මා කිව්වා සමනලියේ..       
                                   ජනක පැටියෝ, ජනිත පැටියෝ ඔයාලා ගැනත් පොත් ගණන් ලියන්න දේවල් මගෙ හදවතේ ගොඩ ගැහිලා තියෙනවා. අනික් සමනල පැටවුනුත් එහෙමමයි...
       
          ඉතින් මගෙ චූටි පැටවුනේ මං ඔයාලා ගෙ ජීවිත ගැන හුගක් ආඩම්බර  වෙනවා. හදවත පිරෙනකම් ආදරේ කරනවා. ඒත් එළියෙදි මට මනුස්ස ලෝකෙ මුණ ගැහෙන වාරයක් ගානෙ ඔයාලගෙ අනාගතේ ගැන මහා බයකුත් දැනෙනවා.මගෙ පැටවුනේ ඔයාලා හැමෝම මනුස්සකම පිරිලා ඉතිරිලා ගිය එක පොකුරක් වෙන්න ඕනි. මගේ සමනලුනේ අවංකකම පිවිතුරු හිත හැමදාම විශ්වාස කරන්න. මොන දේ වුණත් ඔයාලා ගාව තියෙන ඒ දේවල් නැති කර ගන්න එපා. පටන් ගැනීමෙදි නැත්නම් අවසාන තත්පරේදි හරි මුලු ලෝකෙම ඔයාලාට ආදරේ කරන්න පටන් ගනීවි.
                පැටවුනේ මම දන්නවා ඔයාලා කවදාවත් මගේ මේ ලිපිය කියවන්නෙ නැති විත්තිය. මේ අකුරු වුණේ සමනල පැටවුන්ගෙ ලෝකෙට වෙලා වැඩියෙන්ම සතුටු වුණ ආඩම්බරකාර හදවතක කදුලු බිංදුවක්. ඉතින් අපි සමුගනිමු. මං තාමත් ඔයාලාව හදවතින් බදාගෙන ඉන්නෙ. ගෙවුණ හැම තත්පරයක්ම මේ ආඩම්බරකාර හදවතේ අපූරුවට සටහන් වෙලා තියෙනවා..
       මට උගන්නපු ගුරුවරු මගෙන් වින්ද නිරාමිස සතුට ගැන මට කියලා දුන්නට ගොඩක් ස්තූතියි මගෙ පැටවුනේ..

මම
සමනල ලෝකෙ හැඩකාරකම් වලින් අනන්තයටම ආඩම්බර වෙන,
දගකාරකම්වලින් කුල්මත් වෙන,
හිතුවක්කාරකම්වලින් තැවෙන,
පුංචි හසරැල්ලක්...

ඔයාලාගෙන් සමහරුන්ට මම ටීචර් කෙනෙක්
සමහරුන්ට අක්කා කෙනෙක්.
හසිත බබෝ ඔයා මට අම්මා කියලත් කිවුවා ඈ...මගේ චූටි දග පැටියා..








Monday, March 4, 2013

සිහින පොදි














පාට තවරා ලස්සනට
හැඩ වැඩ කරපු
සිහින පොදි
සගවා තබමි
තවමත් වන පොත් නොකර
ඉතිරි වුණ
පොත් පෙළෙහි
අවසාන පිටුව යට
කාටවත් නොපෙනෙන්න...

නික්ම යන්නට අවසරයි.....!!




ලෙංගතුම මොහොතක
හද බිමක උපන්
සිතුවිල්ලක අංශු මාත්‍රය
කාටවත් නොපෙනෙන්න,
නුඹටවත් නොහැගෙන්න
සගවා තබා තැනක
‍අසුරු සැනකින්
පිටව යන්නට
අවසරයි....


ජීවිතය













 අහස් වහලය යට
පොළෝ බිම් කඩ මත
නිදහසේ උපදින
හදිසියේ මිය යන
දහසක් දැක දැක
මම
මටම තැනක්
සොය සොයා
ළතැවෙන...