Sunday, December 30, 2012

සින්ඩිගේ දින පොත 02.

                 සින්ඩි සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් සොයා ගනී 01.

                ඔන්න එකමත් එක රටක අලිග්නියා සින්ඩි සෙමින්ට්‍රියා ඩැඩරාෆි බරාස් කියලා ළමයෙක් හිටියා. මේ ළමයාට ‍හැමදේම කරන්න පුලුවන්. හැමදේම කිව්වෙ මේ වගේ දේවල්...
                   1)  හැතැප්ම දාස් ගාණක් කිසිම මහන්සියක් නැතුව පයින්   

                                    ඇවිද ගෙන යන්න.
                   2)  ඕනි බරක් උස්සන්න.
                        ඒ කිව්වෙ අලියෙක් නිල් තල්මහෙක් හෙම මෙයාට 

                        ඇගිල්ලෙන් ඉස්සුවහැකි.
                   3)  නොනවත්වා දවස් ගානක් එක හුස්මට කතා කරන්න.
                        මෙයා ගොඩක් දේවල් දන්නවා. ඒ කිව්වෙ වෙලාවකට 

                        ඇවිදින පුස්තකාලයක් වගේ. ඉතින් කතා කරන්නත් 
                        පුලුවන් කියන එ‍කේ ආයෙ පැහැදිලි කරන්න දෙයක් 
                       නෑනෙ.
මේ වගේ ගොඩක් දේවල් එයාට පුලුවන්.
කොයි දේ පුලුවන් උනත් එයාට වැඩ දෙකක් නම් කරන්න බෑ.
                   1)  ගණන් හදන්න.
                        මෙයා එකතු කිරීම වෙනුවට අඩු කිරීම කරන ජාතියෙ 

                        කෙනෙක්.
                   2)  මහත් වෙන්න.
                        සින්ඩි කෑම කන්න දක්ෂයි. මෙයා එක වේලකට ඇඹුල් 

                        කෙසෙල් ඇවරි 5 1‍/2කුයි, පානරාත්තල් 2කුයි, 
                        චොකලට් පෙති 21 1/2කුයි, එක්ක තව මොනවා හරි 
                        කනවා. ඒත් මෙයා කවදාවත් මහත් වෙන්නෙ නෑ. 
                        ඉදිකට්ටකටත් වඩා කෙට්ටුයි. ඒ හන්දා සින්ඩි දැන් 
                        මහත් වෙන අදහස අතහැරලා තියෙන්නෙ.






                                                          සින්ඩි හැමදාම උදෙන්ම නැගිටිනවා. ඔන්න 
22වෙනි අගහරුවාදාත් එයා උදෙන්ම ඇහැරිලා පුරුදු විදියට දවස පටන් ගත්තා. ටිකක් දවල් වෙන කොට සින්ඩිගෙ රටේ රජතුමාගෙ අණ බෙර කාරයා මොකක්දෝ කිය කියා ඇවිදිනවා ඇහුණා. සින්ඩි හිටියෙ එයාගෙ කාමරේ සිවිලිම සුද්ධ කර කර. ඒ වෙලාවෙ එයාට අණ බෙරකාරයා කියන්නෙ මොකක්ද කියලා අහන්න යන්න අමාරුයි. ඒ හන්දා එයා එයාගෙ කනට කිව්වා ගිහින් අණ බෙරකාරයා කිව්වෙ මොකක්ද කියලා අහගෙන එන්න කියලා. ඔන්න සින්ඩිගෙ එක කනක් කාමරෙන් එළියට ඇවිද ගෙන ඇවිත් සාලෙ මැදින් ගිහින් අණ බෙරකාරයා ළගට ඇවිත් එයා කිව්වෙ මොකක්ද කියලා ඇහුවා. අණ බෙරකාරයා කිව්වෙ මේක.

                          " අප මහා සිංහ දේශයේ උත්තම අධිරාජ්‍ය දරිබිලි නාස් 

                             මහ රජතුමාට අතිශදරුණු සෙම්ප්‍රතිශ්‍යාවක් වැළදී
                             ඇත. එතුමාට හචිං යාම නවතා ගත නොහැකි 
                             තත්වයට පත්ව ඇති අතර එයට දිව්‍යමය ඖෂධයක්  
                             සින්තටියා දේශයේ ඇති බවත් එය ගෙනැවිත් රෝගය
                             සුව කරන්නෙකුට රටෙන් බාගයක් තිළිණ කරන
                             බවත් රජතුමා මෙයින් දන්වා සිටී "


                                                                           සින්ඩිගෙ කන මේක අහගෙන ආයෙම කාමරේට ආවා. සින්ඩි සි‍විලිම සුද්ධ කරලා ඉවරයි. එයා සිවිලිමෙන් බැහැලා කන ගාවට ආවා. අහ්..! ඊට පස්සෙ සින්ඩි දැක්ක ‍දෙයින් එයා තුෂ්නිම්භූත වුණා.....
                එයාගෙ කනේ තිබුණ වට්ටක්කා ගානක් වටින (සාමාන්‍යයෙන් මේවට සින්ඩිගෙ රටේ කිව්වෙ කැරට් ගානක් වටින කියලා. ඒත් සින්ඩි කැරට්වලට කැමති නෑ. ඒ හන්දා එයා කිව්වෙ වට්ටක්කා කියලා)
ජිල්බාලිස් මැණික් ගල අල්ලපු කරාබුව අතුරුදහන් වෙලා...!!!
                                සිංහ දේශය කියන්නෙ හොරු, මංකොල්ලකාරයො ඉන්න රටක් නෙවෙයි. වෙන රටක මේක වුණා නම් රටේ පුරවැසියෙක් හොරකම් කරලා කියලා කියන්න පුළුවන් නෙ. ඒත් සින්ඩිගෙ රටේ එහෙම වෙන් නෑ.

එතකොට සින්ඩිගෙ කරාබුවට මොකද වුණේ..???
මම ඒ ගැන දැන ගත්ත ගමන්ම ඔයාලට කියන්නම්....

Tuesday, December 25, 2012

ඕන්න එල්ලෙ ගැහුවා....!!!


                                           සින්ඩිගේ දින පොත ලියන්නට උන්න මං ඒ වැඩේ ටික දොහකට කල් දමලා මේ පෝස්ටුව කොටන්නට ගත්තේ හිතට නැගුණ රිදුමක් නිසාය. මේ වචන කිසිවෙකුගේ හිත් රිදවීමක්වත් පහර ගැසීමක්වත්වෙන කිසිම කෙහෙම්මලක්වත් අරමුණු කොට ගෙන නොලියවූ වග පළමුව කිව යුතුය.
                                            මෙතෙක් පැවති සම්ප්‍රදාය කඩ නොකිරීමත් ජීවිතයේ වෙනසකුත් පතා අපි පන්තිදෙකක් ක්‍රීඩා තරගාවලියක් සංවිධානය කළෙමු ය. "කළෙමු" කීවාට මා නම් සංවිධායක කටයුතුවලට සම්බන්ධ වූයේ නැති තරම්ය. පන්තියේ සංවිධායක වැඩවලට උපන් හපන් කම් ඇති කිහිප දෙනෙක් ඒ කටයුතු කරට ගෙන ඉටු කළහ ය. (මගේ උත්තමාචාරය ඔවුන්ට)
                                                       ක්‍රීඩා තරග ලෙස එල්ලේ, ක්‍රිකට් හා කැරම් පැවැත්වීමට තීරණය කෙරුණි ය.  අපිද දින දෙක තුනක් පිටියට සෙට් වී සෙල්ලම් කෙරුවේ පුහුණුවකටත් වඩා විනෝදයක් ලබා ගැනීමට ය. තදබලලෙස පුහුණු වීමේ අවශ්‍යතාවක් අපට නොවූයේ මෙය තරගාවලියක් ලෙස හැදින්වුව ද හුදෙක් සහෝදරත්වය පෙන්නුම් කරනසුහද හමුවක් ලෙස අප සැලකූ නිසා ය. සංවිධායක මණ්ඩලය සහෝදර පිළ වෙනුවෙන් විශේෂ සංග්‍රහයක් පවා සූදානම් කළේ එහෙයින් ය. ආයේ බොරු දෙසා බාන්නට දෙයක් නැත අප බලාපොරොත්තු වූයේ ඔවුන්ව බොක්කෙන්මපිළි ගැනීමට ය.
                                    තරග දිනය උදා විය. පළමුව තිබුණේ ගැහැනු ළමයින්ගේ එලිලේ තරගය ය. ක්‍රීඩිකාවෝ අතට අත දී සුහදව පිටියට බැස්සහ ය. විරුද්ධ පිලෙහි පළමුව තරගයට බට ක්‍රීඩිකාව පළමු පන්දු කිහිපයෙන්මතරගයෙන් ඉවත් කිරීමට අප කණ්ඩායමට හැකි විය. අනතුරුව උදා වූයේ අප කණ්ඩායම හීනෙන්වත් නොසිතූතත්වයකි. විරුද්ධ පිලේ හවුල් කරුවන්ගේ හා ක්‍රීඩිකාවන්ගේ (ඇතැම් දෙමාපියන්ගේද) කුප්ප තත්වය එළියට පනින්නට පටන් ගත්තේය.
                                               දෙවන හෝ තෙවන ක්‍රීඩිකාව මගේ අතින් දැවී ගියා ය. ඒ කෙලි පැටික්කිය උඩ පැන පැන දිව විත් මට පැන වදින්නට වූයේ ඒකිව (සමා වෙන්ඩ මේ මගේ සාමාන්‍ය භාෂා ශෛලිය නෙවෙයි) අවුට් කරපු වරදටය. "ඉතින් හත්තිලවුවේ උඹ දුවපු විදියට මට කියන්නෙ අවුට් නොකර උකුලෙ දාලා නලවන්න දැ යි අසන්නට සිතුන මුත් ඉක්මනින් එතනින් ඉවත් වූයෙමි. අනතුරුව මගේ කණ්ඩායම් සහෝදරියන්ටත්මටත් පැමිණි ඇනුම් බැනුම්වල කෙළවරක් වූයේ නැත. එවුන්ගේ වීර කම වූයේ එල්ලේ ගැසීමක් නොව අප පිලේ මානසික ඒකාග්‍රතාව බිද දමා කසේ හෝ කප් එක ගැනීමය. අපේ නැගනියකට තර්ජන එල්ල කොට තිබුණේදඑනිසා ය.
                                      විරුද්ධ පිලේ කටවලින් කොටු දැමිය යුතු මට්ටමේ වචන පිටවන්නට වූ වේලේ කෙල්ලකටසුහදව අමතා "මේ සෙල්ලමක්නෙ ඒ හන්දා රණ්ඩු දා ගන්න හදන්න එපා" යයි කීවෙමි. ඔලුව කළු ගලක හප්පා ගෙන හප්පා ගෙන යන්නට සිතුණේ ඒ සුහද බව ප්‍රදර්ශනය කරන්නට ගියායින් පසුව ය.
                                           අර කෙල්ල එය සෙල්ලමක් බව දැන ගත්තේ මා කීවායින් පසුවලු ය. "ඇයි හත්තිලවුවේ තොපිලා මේක මොකක් කියලා හිතා ගෙනද වැඩියේ" යි අසන්නට සිතුන ද කිසිවක් නොකියා සුපුරුදු ගොන් පාට්සිනාව මුවට නගා ගත්තෙමි ය. අනතුරුව ක්‍රීඩාව අවසන් වන තුරුම ‍කන් දෙන පුරවා හොද හැටි අසා ගත්තෙමි ය.
                                          ඒවා කුජීත සීන් ය. මට නම් පට්ට අපුල ය. මට බැන වැදුන එකියක හා ඇන ගත්තේ දදිරවා ගන්නට බැරිම වූ තැනදී ය. (අචිනි උඹ හිටියෙ නැත්නම් සිරා මං එවේලේ අම්බානක කනවා ය. හිකිස්) එවුන් සමග පවත්වන්නට සිටි කැරම් තරගය වර්ජනය කළේ විනය කඩා දමා උන් ලබා ගන්නා කික් එක අපටඅනුමත කරන්නට බැරි නිසා ය. එවැනි කුජීත සෙට්වලට කැරම් බෝඩ් එකෙන් දමා ගසනවා ඇ‍රෙන්නට වෙනත් කැරම් ගැසීමක් මට නම් සිතා ගන්නට නොහැකිය. සංවිධායක මණ්ඩලයේ මහත්තුරු සමා වෙන්ඩ ඕනා ඒකෙන් පහසුවට පත් වුණා නම්....
                                         කෙසේ වෙතත් එල්ලේ තරගාවලියෙන් පසුව සහෝදර පිල අමතක කර දමා අප වෙනමසෙට් වී ලබා ගත්තේ නම් පට්ට ෆන් එකක් ය. ක්‍රිකට් තරගයත් එලටම තිබුණේ ය. අනුන්ගේ සහෝදර කම් කෙසේ වෙතත් අප කණ්ඩායම අතර බැදීම තවත් ශක්තිමත් වුණේ ය. මගේ ඉතිහාසයට එදින අමරණීය දවසක් වූයේ එනිසාය.
                                 හවුස් මීට් දවස්වල හැමදාම ඉස්කෝලෙන් කටුටි පැනපු මම (අපේ ඉස්කෝලෙ ප්‍රිපෙක්ට් අක්කලා අයියලා සමාවෙන්ඩ ඕනා ඒකට නම්) එල්ලෙ ගැහුවෙ ඔන්න ඔහොමලු...

ප.ලි. - 

අපේ ක්‍රීඩා සංස්කෘතිය තුළ "විරුද්ධ පිල මානසිකව බිද දමා තරග ජය ගැනීම" ජයටම කෙරීගෙන යන කලාවක්බව දැන ගත්තේ පසුවය. (එය සැම තැනකම සැම ක්‍රීඩාවකම කෙරෙන බව මම කියන්නේ නැත) ක්‍රීඩාව නම් ක්‍රීඩාව ය. ආයේ වටේ පිටේ අනම් මනන් වැඩ මට නම් දිරවන්නේම නැත. "ක්‍රීඩාව මගින් ජය පරාජය විද ගැනීමටත් සහෝදරත්වය ඉස්මතු කිරීමටත් මිනිසා හුරු කරයි" යනුවෙන් පොර ටෝක් දමා ඒ දවස්වල පට්ට ගැසූ රචනා මතක් වී පොළව හාරා ගෙන හාරා ගෙන ගොස් වැළලෙන්නට මට සිතුනේය....

Monday, December 17, 2012

සින්ඩිගේ දින පොත 01

දින පොතට පෙර වදන.

                            මනඃකල්පිත සුරංගනා කතන්දරවලට හැම කෙනාම වගේ ආසයි නෙ. දැන් ආස නැති වුණත් කවදා හරි ආස කරලා ඇති නෙ. ඒ නැතත් ඉස්සරහට හරි ආස කරයි නෙ. ඉතින් හිතුනා සුරංගනා කතා, මන්තර කතා, යක්ෂ ප්‍රේත භූත කතා වගේ රටේ නැති කතාවල කලවම් මැල්ලුමක් හදලා කලු සුදු අඩවියට එක්කහු කරන්න. "සින්ඩිගෙ දින පොත" නමින් තමයි ඒ දේවල් ලියවෙන්නෙ. මේ පොතේ මොන මොනවා ලියවෙයිද කියලා තාම කතුවරියවත් දන්නෙ නෑ. ඒක දැන ගන්න වෙන්නෙ පොතේ පිටු පෙරළලා කියවලාම තමයි.

                           සින්ඩිගෙ දින පොතේ හැම වචනෙම කතුවරියට තමයි අයිති. වෙන කාගෙ හරි වචන ලිවුවොත් එයා ඒකත් එතනම සදහන් කරයි. පොතේ ලියවෙන එකක්වත් ඇත්ත කතා නම් නෙවෙයි ඔන්න...

                    අවවාදයයි  -     සින්ඩිගෙ දින පොතට මුල් අකුරු ලියන්න 

                                            පටන් ගත්ත වෙලාවෙදිම හිත ඇතුළෙ රතු  
                                            එළියක්  දැල්වුණා. මේ දවස්වල ඉතින් ඔය
                                            හැම තැනම පාට පාට එළි තියෙනවා කියන 
                                            හන්දා මමත් ගණන් ගත්තෙ නෑ ඒක.
                                            හැබැයි ඉතින් සින්ඩි මේ අඩවියේ ප්‍රාදූර්භූත 
                                            වුණා වගේම කිසිම හාවක් හූවක් නැතුව 
                                            දවසක එක පාරටම දරිංභූත වුණොත් මට 
                                            නම් දොස් කියන්න එපා. ඔන්න ඒකත් 
                                            කලින්ම කියලා තිබ්බා... 


 

              






        







Sunday, December 9, 2012

ඇදගෙන නෑම හෙවත් ඉල්ලන් කෑම.

                                         බාල්දිය නැත්නම් පනිට්ටුව කියන්නෙ ගෙදර දොරේ වැඩවලට ‍සෑහෙන ප්‍රයෝජනවත් දෙයක්නෙ. පනිට්ටු කිව්වමත් එක එක ජාතියෙ පනිට්ටු තියෙනවා. ලොකු පනිට්ටු, පොඩි පනිට්ටු, යකඩ පනිට්ටු, පාට පාට පනිට්ටු.... මේ වගේ විවිධාකාර පනිට්ටු තියෙනවා.

                         දැන් නම් කස්ටිය බලනවා ඇති සතියක් විතර හාවක් හූවක් නැතුව ඉදලා මොකෝ මේ එක පාරටම පනිට්ටු කතාවක් ඇදලා ගත්තෙ කියලා. මේක ටිකක් වෙනස් වෙනස් විදියෙ පෝස්ටුවක් තමයි. අවුලක් නෑ කියවන්නකෝ...

                                    මෙහෙම උන්නාට මේ අවුරුදු 21ක ජීවිත පුරාණෙ ඇතුලෙ අපිටත් ඉතින් ඕනි තරම් බාල්දි සීන් හම්බ වෙලා තියෙනවානෙ. ජීවිතේ කියලා කියන්නෙ දෙයියො පෙරළපු පනිට්ටුවක්ද කියලා හිතෙන තරමටම බාල්දි පෙරලුන වෙලාවලුත් තියෙනවා. බාල්දි වැටෙනවා, බාල්දි අදිනවා, බාල්දි පෙරලෙනවා, බාල්දි පෙරලා ගන්නවා....(ඊ.ටී.සී). මේ ටිකේ ලබලා තියෙන්නෙත්  යන යන තැන පිට පිට බාල්දි පෙරළෙන කල දවසක්. පහුගිය දවසකත් නිකම් ඉන්න බැරුවට බාල්දිය පුරවලා ඇදගෙන බාල්දිය පිටින්ම විහින් ඔලුවට හලා ගත්තා..
                                        පහු ගිය ගුරු දවසක තමයි සිද්ධිය වුණේ. ආ...සිද්ධියට කලියෙන් පූර්ව විස්තර කථනයක් කරන්න වෙයි වගේ... 
                                       අපි ඉතින් ආණ්ඩුවේ Z  මැල්ලුමට අහු වෙලා තෙම්පරාදු වෙලා තෙල් වෙලා ඉන්න කට්ටියක්නෙ. දැන් නම් "නෝ කැම්පස්" කියන තරමටම හිත ඇට්ටර වෙලා. ඒත් ඉතින් ඉගෙන ගන්න උණක් ඇග ඇතුලෙ තියා ගෙන ගෙදරට වෙලා කාලකන්නි වෙන එක තරම් දුකක් නම් තවත් නැතුව ඇති. (ගෑණු පරාණයක් වෙච්ච හන්දා හිතෙන හිතෙන විදියට එලියට බහින්නත් තහංචි නේ). වෙන රටවල නම් මේ වෙන කොට මේ වයාස අය රටේ ආර්ථිකයට සම්බන්ධ වෙනවා කියලා පොර ටෝක් එකක් දීලා ජාතික ආර්ථිකයට සම්බන්ධ වෙන්න (job එකකට සෙට් වෙන්න) ලෑස්ති වුණාට ඒකත් තහනම් වුණා නෙව. ඉතින් ගෙදර බිත්ති ටිකටයි හවසට ගාටන ඉංග්‍රීසි පන්තියටයි ( ඉංග්‍රීසි පන්තිය කිව්වට දැන් දැන් ඒකෙ ඉංග්‍රීසි වචනයක් ඇහෙන්නෙත් බොහොම කලාතුරකින්. පස්සෙ කියන්නම්කො ඒ ගැන විස්තර) ලෝකෙ සීමා කර ගෙන අත පය අකුලන් දෙන දෙයක් කාලා බීලා බලන් ඉන්නවා.
                                            මං යුනිවර්සිටියෙ ගාටන්න ඉන්න පැත්තට සම්බන්ධ සර් කෙනෙක්ව හම්බු වෙලා පහුගිය දවසක කතා කර කර උන්නා. ක්ෂේත්‍රය ගැන විස්තර ටිකක් කියන අතරෙම සර් කිව්වා පොත් වගයක් ගැනත්. නිකම් ඉන්න ගමන් අරන් බැලුවට කමක් නැහැ කියලා තමයි සර් කිව්වෙ.
                                              සර් එහෙම කිවුවට මට හැමෝම වගේ උපදෙස් දීලා තිබුණෙ යුනිවර්සිටි බඩගාන්න කලියෙන් විෂය ගැන හොයන්න කරන්න යන්න එපා කියලා. හිනා වෙවී උන්නාට මං කම්මැලි කමේ වේලෙන හැටි සර්ට පෙනුන හන්දායි එහෙම පොතක් බැලුවයි කියලා නරකක් වෙන්නෙ නැති හන්දයි වෙන්න ඕනි සර් එහෙම කිව්වෙ. මමත් ඉතින් ගෙදරට ඇවිත් කණු කුණු ගාන්න පටන් ගත්තා ඒකවත් අරන් දෙන්න කියලා. පොත ගන්න තිබුණෙ කොළඹ රටෙන් විතරයි. පහුගිය ගුරු ද‍වසෙ නැන්දලාගෙ ගෙදර යන්න සූදානම් වෙන ගමන් එදාම මට පොත අරන් දෙනවා කියලා ගෙදරින්පොරොන්දු පත්‍රයක් නිකුත් කළේ මගෙ කරදරෙන් බේරෙන්න බැරිම තැන වෙන්න ඕනි. 
                                               ඔන්න ඉතින් ගමනත් ගියා කියමුකො. එදා දවාලෙ ටුක් ටුක් එකක් අරගෙන අදාළ පොත් සාප්පුවට ගොඩ වැදුණා. ඒත් පොත් සාප්පුවේ අධිපතිතුමා මීටිමකට බැහැර වෙලා හන්දා සාප්පුව වහලා දාලා. ආයෙම එන්න වුණා ඉතින්. ටුක් ටුක් අයිතිකාරතුමාත් රු.800කට විතර විද්දා.
                                              හවස ගෙදර එන්න පිටත් වෙන්න කලියෙන් පොඩි පහේ සාකච්චාවක්. මගෙ පොත ගන්න බැරි වුණ එක ගැන.

"ඔයාට පොත ගන්න ඕනිම ද?"

"හ්ම්ම්..."

"පොත ගන්නම ඕනි නම් අපිට ‍අද ඉදලා හෙට ඒක අරගෙනම යතහැකි"

                                        වැඩිහිටි පාර්ශවයෙන් දැනුම් දුන්නා. තීරණය මගෙ අතේ. ගෙදර ඉන්නවාද? නවතිනවාද? ඒ වෙන කොටත් ෆිල්ම් කෑලි කීපයක් බලලා කාඩ් අතකටත් සෙට් වෙලා උන්නු හන්දා මටත් ආපහු යන්න උවමනාවක් දැනුනෙම නෑ. අදාළ පොත බලන්නත් පුංචි පහේ අවශ්‍යතාවක් මෝදු වෙලා තිබුණා.

"අද නැවතිලා හෙට පොත අරගෙනම යමු"      

මං තීන්දුව දුන්නා. වැඩිහිටි පාර්ශවයෙ අනුමැතිය ලැබුණෙ ඒතරම් කැමැත්තකින් නෙවෙයි වගේ.
ඔන්න පහුවෙනිදා උදා ‍වුණා. පොත ගන්න සාප්පුවට ගොඩ වුණා.

"මොකක්ද ඔයාට ඕනි පොත?" සාප්පුවෙ අධිපතිතුමා ඇහුවා.

"අහවල් ක්ෂේත්‍රය ගැන ඔයාලා ගහලා තියෙන පොත"

"එහෙම කිව්වට බෑ. ඒ ගැන පොත් කීපයක්ම ගහලා තියෙනවා. හරියටම නම කියන්න."

හුටප්පරයයි...මං සර්ගෙන් පොතේ නම හරියට අහ ගත්තෙ නෑනෙ. දැන් මොකෝ කරන්නෙ? මං තනි‍යෙන් උන්නා නම් මොකක් හරි කර ගන්න තිබුණා.




"මට ඒ පොත් ටික පෙන්නුවොත් ඕනි පොත කිව්වහැකි"

"ඒ පොත් ටික අදින්න මට බෑ. ඔයාට ඕනි පොතේ නම කිවුවොත් ඒක දෙන්නම්" අධිපතිතුමා ගෝරනාඩු කරනවා.
                                                             පොත් ටික පෙරලලා බලලා ගැළපෙන පොත තෝරා ගන්න පුලුවන් කියන විශ්වාසෙ හිතේ තිබුණට මේ යකා මට පොත් ටික පෙන්නන්න බෑම කියනවා. මගෙත් කෝපාග්නිය ටිකෙන් ටික ඇවි‍ලෙන්න  පටන් අරන් වචනයක් දෙකක් කියවුනා.. ටික වෙලාවකින් අධිපතිතුමාගෙ කටින්ම පොත්වල නම් එළියට විසි වුණා. ඒ නම්වලින් මට කැපයි කියලා හිතුණ නම අහුලා ගෙන අන්න ඒ පොත දෙන්න කියලා මමත් කිව්වා. අන්තිමට රු.300ක පොත් දෙකක් අරගෙන සාප්පුවෙන් එළියට බහින්න සිද්ධ වුණා. අප්සෙට්ම වැඩේ කියන්නෙ එලියට බහින්න කලින් අධිපතිතුමාගෙ පොර ටෝක් එකකටයි උපදෙස් මාලාවකටයි සවන් දෙන්න සිද්ධ වුණ එක. ක්ෂේත්‍රයට ඇතුලු වෙන්න කලියෙන් ඒ ගැන හාර අවුස්සන්න යන්න එපා කියලායි තව මොනවදෝ ගැනයි දේශන මාලාවක්ම තිබ්බා. මං තාම පොඩි එකා හන්දා කට පියාගෙන අහන් උන්නා...
                                                           ආපහු ආවට පස්සෙ තමයි වැඩිහිටි අවවාද අනුශාසනා ආරම්භ ‍වුණේ. මොකක් කරන්නද බිම බලාගෙන අහන් ඉන්නවා මිසක්. වැඩිහිටි කටවල් තුන හතරක් කතා කරන තැනක මගෙ හඩට ඉඩක් තියේවි යැ.
   
"හරි අමාරුයි මෙයාට ටික දවසක් ගෙදරට වෙලා ඉන්න. රටේ නැති ඒවා කරන්න හදන‍වා. යන්න ඉන්න ක්ෂේත්‍රයට කිසිම සම්බන්ධයක් නැති දේවල් ඔලුවෙ තියෙන්නෙත්....(ඊ.ටී.සී) "
ඒ පියාණන් වහන්සේ...

"ත‍ව ටික දවසනෙ පුතේ. ඉක්මනට යුනිවර්සිටි ගනීවි. මේ දවස් ටිකත් ඔහොමම ඉන්නකො"
නැන්දණියගෙ කට හඩත් අවදි වුණා...

"මෙයාගෙ තව නරක පුරුද්දක් තමයි හැම වැඩේම බාගෙට කරලා අතෑරලා දාන එක. කිසිම වැඩක් හරියට කරන් නෑනෙ"
මෑණියන් ‍වහන්සෙ අදාලම නැති ප්‍රශ්නෙකුත් ඒ වෙලාවෙම සභාවට ඉදිරිපත් කළානෙ...

Usual බණ කැසට් එක වුණත් ඒ වෙලාවෙ නම් සැරටම වැදුනා..

"අද නම් මදි නොකියන්න අහ ගත්තා නේද?"
අයියාත් හීනියට නෝන්ඩියක් දැම්මා...

                                             යන්න ඉන්න ක්ෂේත්‍රයට වඩා අහවල් අහවල් ක්ෂේත්‍රවලට මං උපන් දා ඉදලාම කැමති හන්දානෙ නිකම් ඉන්න කාලෙදිවත් ඒවා කරන්න හදන්නේ. යන්න ඉන්න ක්ෂේත්‍රයත් එක්ක අරවා ගලපන්න අමාරුයි තමයි. ඒත් මනුස්සයෙක් එක දෙයක් විතරක් ඉගෙන ගෙන බනානා ගෙඩියක් ‍වගේ ඉන්න ඕනි කියලා කොයි පොතේද කියන්නකො තියෙන්නෙ. මට ඕනි හොද ජාතියෙ කොත්තුවක් වෙන්නනෙ අප්පච්චී...
                                           ඔහොම හිතන් උන්නාට මං එච්චරටම නරක් නෑ අම්මේ. වැඩ අතර මග නතර කරන්නෙ හිතට ෆිට් වෙන්නෙ නැති වුණාමනෙ. ෆිට් වෙන තැනකින් වැඩේ සෙට් වුණොත් නවත්තපු වැඩක් උනත් මං පටන් ගන්නවානෙ. එතකොට මාව නවත්තන්න කාටවත් බැරි බව අම්මා හොදටම දන්න‍වානෙ...

කමක් නෑ ඉතින් දැන් සිද්ධිය අකුරු වුණාට පස්සෙ මොක නැතත් ඒකෙන් රහක්වත් ලැබෙයිනෙ.....