Sunday, November 11, 2012

පාපොච්චාරණය.

ස්වාමීනී සමාවන්න,
වරද මා අතය ;
පිටවන්නට පෙර ඔහු ශාප කළේ එබැවිනි.

 
වසරකට උඩ අතීතයකදි
හමු වුණා අප කොහෙද තැනකදි
එදින සිට මේ වසර ඇතුළත
දැනෙයි මා වැඩි මහලු වූ බව
වසර ගණනක් නුඹට වැඩියෙන

මගේ ජීවය ඉල්ලමින් නුඹ
කුඩා දරුවෙකු විලස සපැමිණ
දෙනෙත් නොතෙමා හැඩුව දිනයෙහි
              මහත් බලයෙන් පරිශ්‍රමයෙන්
              හිතේ කරුණා බලය මහිමෙන්
              මගේ හදවත පුද කළා මම -
              සොරා ගන්නට මගේ හදවත
              නොහැකි වූ ඒ මිනිස් රුව වෙත

              "මගේ හිත් මල දුන්නෙ මමම ය
               සොරා ගත්තා නොවේ නුඹ එය"

         *          *         *         *           *       *
නමුදු හිතවත, ස්නේහ වන්තය,
සිනහ මුහුණට බිනූ වදනට
යටින් දිවෙනා ගැහෙන හදවත
පැතුම් පුරනා සොදුරු සිහිනය
නුඹට හදුනා ගන්න බැරි විය...

නුඹේ අණසක පතුරුවන තැන
මටම මා නැති වෙන්න ගිය දින
කුමාරය නුඹ හලෙමි දිවියෙන
             (නුඹේ මුහුණට අකුරු තුනකින්
             දමා ගැසුමට තිබුණ චකිතය
             මිසෙක වෙන යම් දෙයක් නොව මා
             එතෙක් දිනයක් පමා කෙරුවේ)

             මටම මා නැති වෙන්න ගිය දින
             සිතට දිරි ගෙන බිනුවෙමිය මම
             "යන්න - සැනෙකින
              මගේ විජිතය අතැර සැනෙකින"

එසැන මා වෙත පතිත වූයේ
පැමිණි වදනයි නුඹේ මුවගට
ශාපයක වෙස් රැගෙන රිදවන
       "ජීවිතය තිට වැරදෙනා දින
         මතක් වේ මය මෙදින ආයෙම
         පසුතැවෙන්නට වේය සදහට"

දෙවන වරටද වරද නොකරමි
තදින් හදවත අගුලු ලෑවෙමි..

*       *       *       *       *      *      *

දකින දිනයක කොතැන හෝ යළි
දෙතොල් අග රැන්දුවද සිනහව
බිදී විසිරුන සිතක් අබියස
සානුකම්පිත වෙන්න නොහැකිය

නමුත් හිතවත, ‍ස්නේහ වන්තය,
තුති පුදන්නෙමි හිස නමා මම
පැමිණ නුඹ මෙහි ටික කලක් හිද
ශක්තිමත් බව මේ තරම් මම
මටම තහවුරු කරපු කරුණ ට...

4 comments:

  1. නුඹයි තවමත් වැරදිකාරිය
    නුඹේ හද බිද දැමුනු වරදට
    ඒත් කෙදිනක වෙතත් ඔහු හට
    පසුතැවෙන්නට වේය සදහට
    ඔබේ අත අත ඇරුනු වරදට
    maru.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක්ම යාළුවේ..

      Delete