Tuesday, January 1, 2013

මේක මගෙ යාළුවෙක් මට කියපු කතාවක්... සිදුවීම විතරක් කියන්න ඕනි වුණ හන්දා බරසාර වචන නොදා සරලවම මෙහෙම ලියන්නම්..

                                                      මේ යාළුවා එයාගෙ ගමේ බස් කොන්දොස්තර කෙනෙක් එක්ක පොඩි පටලැවිල්ලක් තිබිලා තියෙනවා. වෙන මොකටවත් නෙවෙයි.. දවසක් බස් එකේ දි ඉතුරු සල්ලි නොදී ටිකට් එකත් නොදීපු වරදට. අපි දන්නවානෙ සාමාන්‍යයෙන් කොන්දොස්තරලා ටිකට් කඩන්නෙ නැත්තෙ මොකද කියලා. කඩන්නෙ නැති ටිකට්වල ගාන රිංගන්නෙ කොන්දොස්තරගෙ හරි ඩ්‍රයිවර්ගෙ හරි සාක්කුවට. සරලවම කිවුවොත් ඒක වංචාවක්නෙ. මේ යාළුවා ඉතින් සාධාරනේට තමයි වැඩ. ඒකයි එයාට තරහා යන්න ඇත්තෙත්. එදා බස් එක නතර කරලා තියෙන්නෙත් අදාල නැවතුමට ටිකක් ඈතින්. ගමේ මිනිහා වෙලත් මේ කරපු දේට යාළුවට තරහා ගිහින්. කොන්දොස්තර මහත්තයාව ගමේදි මුණ ගැහුනත් ආයෙ කතා කරන් නෑ කියන
මතයෙ තමයි යාළුවා ඉදලා තියෙන්නෙ. ඒ බව එයා ගෙදරටත් කියලා තිබුණා...
                                                   මෙහෙම ටික දවසක් ගෙවිලා යන අතරෙ දවසක් යාළුවාගෙ අම්මා මෙයාට කිව්වාලු ඔයා කේන්තියෙන් ඉන්න කොන්දොස්තර මහත්තයාගෙ නෝනාට පිළිකාවක් කියලා ඉස්පිරිතාලෙ නවත්තලා කියලා. ඒ වෙලාවෙ යාළුවා වැඩ මැද්දෙ හිටිය හන්දා ඒක ඔළුවට වැටිලා නෑ.
                                                      කාලය ඔහොම ගත වෙලා ගියා. ටික දවසකට පස්සෙ දවසක් මේ යාළුවා පාර දිගේ ඇවිදන් එන කොට ඉස්සරහාට අර කොන්දොස්තරව මුණ ගැහිලා. කොන්දොස්තර මහත්තයා
අමාරුවෙන් වගේ මෙයාත් එක්ක හිනා වෙන්න හදනවා කියලා එයාට තේරිලා. එයාට එක පාරටම මතක් වෙලා තියෙන්නෙ කලින් සිද්ධ වුණ ඉතුරු සල්ලි නොදීපු සිද්ධිය. ඉතින් මෙයා ‍කොන්දොස්තර මහත්තයාට 
හිනා පොදකින්වත් සංග්‍රහ කරන්නෙ නැතුව අහක බලා ගෙන එතනින් ගිහින් තියෙනවා. අවාසනාවන්තම සිද්ධිය වෙන්නෙ ඊට පස්සෙ. එදා හවස යාළුවා ගෙදර ගියාම අම්මා කියපු දෙයින් එයා තුෂ්නිම්භූත වෙලා.
මොකක්ද දෙයක් එයාට නැති වුණා කියලා දැනෙන්න පටන් අරන්. අම්මා කිව්වෙ "එදා හවස අර කොන්දොස්තර එයාගෙ කාමරේ එල්ලිලා මැරිලා" කියලා. මොකක් නමුත් ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති කියලා අම්මා කිවුවලු.
                                                      මේ යාළුවාට ඇති වුණ කම්පනය හිතා ගන්න පුළුවන් නේද? සමහර විට අර කොන්දොස්තර මහත්තයා මැරෙන්න හිතා ගෙන ගෙදර යන අතරෙ වෙන්න ඇති දෛවය විසින් යාළුවාව මුණ ගස්සන්න ඇත්තෙ. ඒ වෙලාවෙ තරහා අමතක කරලා එයා එක්ක නැවතිලා විනාඩියක් දෙකක් කතා කළා නම් ඔහුගෙ මරණය වළක්වා ගන්න යාළුවාට පුළුවන් කමක් තියෙන්නත් ඇති....

ඉතුරු ටික මං එයාගෙ වචනනලින්ම කියන්නම්..


"......සමහර විට ඒ මනුස්සයාට අන්තිමටම මුණ ගැහෙන්න ඇත්තෙ මාව. මිනී මරුවෙකුගෙයි මගෙයි අතර වෙනසක් කියෙනවා නම් ඒ බොහොම පොඩි වෙනසක්. මගෙ පසුතැවීම ඔයාට අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.
අන්තිමට එයාගෙ නෝනාට සනීප වුණා. හරියටම ඒ මනුස්සයාව හම්බවුණ තැනදි මට ඒ ආන්ටිවත් ‍මුණ ගැහෙනවා ගොඩක් වෙලාවට. ඒ හැම වෙලාවකම පපුවට පිහියකින් අනිනවා වගේ දැනෙන්නෙ...."

මේ ලිපිය තවත් දිග් ගස්සන්න මම කැමති නෑ. ඒ මේක ලිව්වෙ යාළුවාගෙම ඉල්ලීමක් මත උනත් කවදා හරි දවසක මේ වචන දැකලා එයාගෙ හිතට ආයෙම වේදනාවක් දැනෙයි කියන බයට. ඒ හන්දා කතාව ලිවුවෙත්බොහොම කෙටියෙන්.
                                                  
මේ කතාව කියලා මම මනුෂ්‍ය අත් වැරදීම්වලට සමාව දීමේ අගය ගැන දේශනයක් පවත්වන්න හදන්නෙ නෑ. ඒත් ජීවිතේ පසු තැවීමක් ඉතිරි කර නොගෙන ජීවත් වෙන්න කැමති අය මේ කතාව ගැන ටිකක් වැඩිපුර හිතන එක වටිනවා කියලයි මගේ අදහස..
                                            

13 comments:

  1. සිද්ධිය නම් කණගාටුදායකයි. ඔයවගේ දෙයක් උනාම ටිකක් හිතට දැනෙන එක සාමාන්‍ය දෙයක් නේ. ඒත් ඔයාගේ යාළුවා ඒ ගැන පසුතැවිලි වෙන්න ඕන නෑ කියලයි මට නම් හිතෙන්නේ. ඒ මොනවා උනත් අවස්ථාවේ හැටියට නම්‍යශීලී වෙන්න පුළුවන් නම් හිතට සැනසීමක් ලඟා කර ගන්න පුළුවන්.

    ReplyDelete
  2. වෙච්ච හැම කථාවක් ම අපිට වැදගත්.ජිවිතය හදා ගන්න,ගන්න තීරණ ගැන ඒ තුළින් ගන්න උපකාරි වන නිසා.මේ කථාවෙනුත් අපට ගන්න දේයක් තියෙනවා.
    නිරෝගිමත් සුභ නව වසරක් වේවා!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඇත්ත යාළුවා..
      සතුටුයි මේ පැත්තෙ ආවට..
      සුබම සුබ නව වසරක් වේවා ඔයාටත්..!!

      Delete
  3. හිතාගත්තැකි යාලුවට ඇතිවුනු හැගීම...
    හැබැයි තමන් අතින් වුනු ඒවගේ වරදකට පසුතැවෙන්න පුලුවන් අය අද සමාජෙ අඩුයි කියනවනෙ ඒ අතින් ඔයගෙ යාලුව ගොඩක් හොද කෙනෙක් වෙන්න ඕනි...
    ඇත්තටම මේ කතාවනම් අපි හැමෝටම හොද පාඩමක්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඔව් එයා ටිකක් වැඩිපුර හිතන හොද කෙනෙක්..
      ස්තූතියි කමෙන්ටුවට.

      Delete
  4. ඒත් ඉතින් මං දකින විදිහ කියන්නම්.මේක යාලුවට ගොඩක් දුක්වෙන සිදුවීමක් වෙලා තියෙන්නේ එයා අනවශ්‍ය ලෙස සංවේදී වෙන නිසා කියලයි හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ම්...ඔව් ධම්මික ඒකත් එක අතකින් ඇත්ත තමයි..

      Delete
  5. තුවලෙ තියන මිනහටලු වෙදනාව කිව්වලු යාලුවා...........

    ReplyDelete
  6. ඛේදනීය සිදුවීම යාළුවගේ හැසිරීමේ වෙනසත් එක්ක , නොවෙනවා කියලම කියන්න බැහැ.... හැඟෙන හැමදේම යතාර්ථයම වෙන්නේ නැහැ නේ.... සංවේදී හදවතක , නොකළ වරදක් වෙනුවෙන් නැගුණු පසුතැවිල්ලක් කියල කියන්න පුළුවන්.

    ReplyDelete