Monday, January 7, 2013

අරන් යන්න මේ කවියත්...


මහ පාරේ වෙල් දෙණියේ - රුහිරු කදුළු ඩා දිය බිදු
නුඹ වෙනුවෙන් ලොව වෙනුවෙන් - නුඹේ ගතින් වැගිරෙන කල
සොයුර තවම නුඹ නොදනිය - මගෙ හදවත හැමදාකම
නාදුනනා නුඹ වෙනුවෙන් - ආදරයෙන් උතුරන බව

පය තබනා මාවත දිග - ඇතිරුණ රුදු කටු වැට වැද
නුඹේ දෙපය රිදුම් දි දී - රුහිරු ගලනු දැක දැක නුඹ
හීන් හඩින් හිනැහෙන කල - සොයුර තවම නුඹ නොදනිය
මගෙ හදවත නුඹේ නමින් - උපන් පෙමින් නැලවෙන බව

කප්පරයක් දුක් කදු මැද - උදා ඉරක් සේ නැග එන
සනුහරයට ගෙලේ බදින - මිණි කැටයක් වී දිදුලන
නුඹ දුටු කල ආදරයෙන් - උතුරා යන සිතුවිලි මැද
සොයුරිය මා නොකිවු වදන - හද පතුලේ සැගවී ඇත

ජීවිතයේ ජය ටැඹ වෙත - ජීවනයේ තනුව වයන්
යනවා නම් මේ පාරෙන් - අරන් යන්න මේ කවියත්
එතකොට මට හැකි‍ වේවිය - නවතින්නට හැමදාමත්
නැවුම් ලොවක් බිහි කරන්න - දිරි දරනා නුඹ ගාවත්

මරු කතරක දිය සොයනා - මනු කුලයට සැනසුම දී
දිවි අවසන මිය යන සද - සිනහවකින් සමු දෙන්නම්
කදුළට ඉඩ නොතැබූ නුඹ - කිසිම දිනෙක දැන ගනු නැත
නන්නාදුනනා කෙනෙකුන් - නුඹ වෙනුවෙන් වැළපුණ බව

18 comments:

  1. ෂා!! ඒකනම් නියමයි..

    ReplyDelete
  2. ලස්සන අදහසක් තියන කවි ටිකක්.

    ReplyDelete
  3. ජීවිතයේ ජය ටැඹ වෙත - ජීවනයේ තනුව වයන්
    යනවා නම් මේ පාරෙන් - අරන් යන්න මේ කවියත්

    කදුළට ඉඩ නොතැබූ නුඹ - කිසිම දිනෙක දැන ගනු නැත
    නන්නාදුනනා කෙනෙකුන් - නුඹ වෙනුවෙන් වැළපුණ බව

    නියමයි......

    ReplyDelete
  4. ලස්සනයි! එ වුනත් මම කැමතියි මේක තව කෙටි වුනා නම්!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ.. ම්..කෙටි කවි ලියන්න ට්‍රයි එකක් දීලා බලන්න ඕනි..

      Delete
  5. //කදුළට ඉඩ නොතැබූ නුඹ - කිසිම දිනෙක දැන ගනු නැත
    නන්නාදුනනා කෙනෙකුන් - නුඹ වෙනුවෙන් වැළපුණ බව//

    ඉතිං එහෙම නොකිය ඉන්නෙ මොකටද අෆ්ෆා....

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ මොකක්ද අනේ...???

      ස්තූතියි යසිත් මේ පැත්තෙ ආවට..

      Delete
  6. තවත් කවිකාරියෙක්, නියමයි

    ReplyDelete
  7. ලස්සන අර්ථවත් පද පෙළක් ....!!

    ReplyDelete
  8. කම්කරු පන්තිය කෙරෙහි ඉපැදුනු මහත් වූ ස්නේහයකින් මැවුනු පද බව මගේ හැඟීමයි..හැබැයි ඉතින් වැඩි සෙනේ දබරෙටයි ;)

    නියමයි ආ..ලස්සනට,හංගල වගේ ලියල තියෙනව :D

    ReplyDelete
  9. හි හි //වැඩි සෙනේ දබරෙටයි//

    තැන්ක් යූ සහෝ...

    ReplyDelete