Saturday, November 3, 2012

නඩුව අවසන්ය ; චූදිතයා නිදහස්ය.

ගල් ගහලා මරාපියවු උඹේ හදවත ඉඩ දෙනවා නම්.


නීතිය     -   අණ කරමි,
                  චූදිතය
                  නැවත හසු නොවන ලෙස

                  මෙවන් වරදෙහි බැදෙන ගැහැනුන්ට.

පුරුෂයා  -   මගේ තනිකඩ ජීවිතේ දැක
                  උණු වෙලා මෙන් තිගේ හදවත
                  හෙමි හෙමින් තී ළං වුණා මට
                  මගේ දේපල සොරා ගන්නට
                  මගේ නම්බුව බිද දමන්නට -
                     වසල ගති ඇති හෙරක වාගෙම..
                  තිගේ දෙනෙතේ නුරා බැල්මේ 
                  කිඹුල් කදුලට අහු වුණා මම..

ස්ත්‍රිය      -  (නිහඩය)


සනුහරය -   පිටමන් කළ යුතුය තී
                  අවමන් කළ වරදට - සනුහරයට
                  නොවැටිය යුතුය තිගේ සෙවනැල්ලවත්
                  අපේ ගෙ මිදුලවලට
                  අපේ දරුවන්ගේ ලෝකයට
                  මකා දැමිය යුතුය
                  තී පිළිබද මතකය
                  අංශු මාත්‍රයක්වත් තිබෙන්නට නොදී

ස්ත්‍රිය      -   (නිහඩය)

ලෝකය -   නුඹේ වරිගේ අනික් උන් මෙන්
                  අයාලේ ගිය ගැහැනියයි නුඹ
                  අපේ දෙනෙතට හසු නොවන්නට
                  ඈත් කළ යුතු තී ව ලෝකෙන්
                  අසම්මතයට වහල් වූ නුඹ
                  අපිරිසිදු කත
                  අපේ ළමයින් හදන්නට බැහැ
                  තිගේ වැනි පරපුරක් හිටියොත්

ස්ත්‍රිය    -     (නිහඩය)

කළලය  -   වසර ගණනක් පෙරුම් පුරලයි
                  නුඹේ නිවහන සොයා ගත්තේ
                  අනේ අම්මේ ඉඩක් දෙනු මැන
                  හුස්ම ගන්නට නුඹේ තුරුලේ...

...............................,

හද බිමේ උතුරා ගලා ගිය
හැගීමට හිස නැමූ වරදින්
අයිතිකරුවෙක් නොමැති කළලෙක
බරක් හැදුනා නුඹෙ කුසේ

තිර වදන් නැති ලොවක් ඇතුලත
සම්මතය රජ කෙරූ පමණින
වැරැද්දක බර නුඹේ හිස මත
කෙලෙස පටවන්නද නගේ

මිනිස් හඩකට හඩන දෙනෙතක්
මටත් තිබුණා යෞවනේ..

9 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ලොකයක් ඒ ගැහැනියට අපහාස කරද්දී
    අපිරිසිදු ගැහෙනියක යැයි කියා
    නිහඩවම මා බලාසිටියා ඔවුන් පිරිසිදු යැයි සිතා
    එත් නොතෙරෙන නිසා මම අන්තිමට ඇහුවා
    මේ ගෙහැනියගේ කුසේ ඉන්න දරුවගේ තාත්තා කවුද
    පිරිසිදු සියලු මිනිසුන් නිහඩව සිටියා
    එත් මම අයෙත් අහනවා ඒ දරුවගේ තත්තා කවුද?

    ReplyDelete
  3. වරදෙහි බැඳුන මුත්
    එක් වරක් පමණක්
    පසුතැවෙයි වරකට වඩා..

    දැන් පමා බව
    වැටහෙනා වග
    නිහඬතාවය ඉඟි කළා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා එකතු කිරීමට..

      Delete
  4. බුදුන් දැක නිවන් දකිමැයි දෙවුරම යන පාර අහන
    ඔබද පටාචාරාවකී - ඔබද කිසාගෝතමියකී
    පිරිමින්ගේ පාප කඳට- දෝස විඳින ලඳුනේ
    අඳුරේ පවු කරන දනා -එළිය රවන ලඳුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන- ළය නොපෙනෙන ලඳුනේ
    කුහුඹුවකුට වරදක් නැති -වැරදිකාර ලඳුනේ ………......

    ReplyDelete
    Replies
    1. අමිහිරිම සමාජ ඛේදවාචකයකට පබැදුණ මිහිරිතම පද වැලක්.. ස්තූතියි යාළුවා..

      Delete
  5. අපි ගොඩනගාගෙන ඉන්න ලෝකේ කියන්නේ හෙන බොරුවක් නේද !!!
    වෙලාවක් තිබුනොත් ගිහින් මෙන්න මේ කථාව කියවන්නකෝ .... ඇත්තම ඇත්ත කථාවක් !!

    http://wilakuwa.blogspot.com/2012/09/blog-post.html

    දෙයක් කියන්න තරහ වෙන්නේ නැතිවෙයි කියලා හිතනවා . බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක ඇහැට අමාරුයි . වෙනස් කරන්න පුළුවන් නම් කැමතී . කළු පසුබිමේ සුදු අකුරු කියන්නේ බ්ලොග් එකට බාදාවක් . අනික ෆලො‍වර්ස් ගැජට් එක පේන තැනකින් එල්ලන්න , තව පොඩඩෙන් මම යන්නයි ගියේ එහෙම ගැජට් එකක් නෑ කියලා .සින්ඩි කේටර් දෙක තුනකටත් බිලොග් එක දාලා දාන්න , අපි ලියන දේ වැඩිදෙනෙක්ගේ අතරට ගියොත්නේ ඒකෙන් කාට හරි ප්‍රයෝජනයක් වෙන්නේ !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා... මම ඒ ලිපිය බලලා විනාඩි කීපයක් ගල් ගැහිලා ඉදලා ආයෙම පියවි සිහියට ආව ගමන් මේ වචන ටික සටහන් කරන්නෙ. මං කැමතියි අපේ අනික් යාළුවොත් ඒ ලිපිය කියවනවා නම්.

      ගොඩක් ස්තූතියි යාළුවට..

      මම වෙලාවක් ලැබුණ ගමන් බ්ලොග් එකේ ඒ වෙනස් කම් ටික කරන්නම්.

      Delete